කෝප් කමිටු සභාපති වරයාගේ වෑයම ක්‍රිකට් දූෂණ ගැන සත්‍යයේ කට වැසීමද?

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාරට එරෙහි විශ්වාසභංග යෝජනාවක් කතා නායකවරයාට බාර දීමට සමගි ජන බලවේගය පක්ෂය තීරණය කර ඇත.මෙම විශ්වාස භංග යෝජනාව හෙට (20) බාරදීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර අතර ඇතැයි පැවසෙන සබඳතා හෙවත් “ළබැදියාවන් සම්බන්ධ ගැටුම”හේතුවෙන් ඔහු එම කමිටුවේ මුල් පුටුවේ තබා ගෙන ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් කතාබස් කිරීම අගතිගාමීත්වයක් වෙත යොමු වන්නක් බව විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දිගින් දිගටම පෙන්වා දෙති.ඔවුන් පවසනුයේ රංජිත් බණ්ඩාර මහාචාර්යවරයාගේ මූලිකත්වය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා විමර්ශනය කිරීමට තමන් කිසිසේත් එකඟ නොවන බවකි.

“කෝප් කමිටුවේ සභාපති රංජිත් බණ්ඩාර මැතිතුමා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයකු ලෙස මීට පෙර කටයුතු කර තිබෙනවා.මම ඊට අදාළ සියලු ලිපි ලේඛන හැන්සාඩ් ගත කරනවා. මෙතන බැඳියාවන් සම්බන්ධ ගැටුමක් ඇතිවෙනවා. ඒ වගේ තත්වයක් තුළ ක්‍රිකට් ගැන කෝප් කමිටු විමර්ශනයට එතුමාට සහභාගි වෙන්න පුළුවන්ද;මෙවැනි ළබැඳියාවන් අතර ගැටුමක් තියෙද්දී. ඒ ගැන එළිදරව් නොකර කෝප් කමිටු සභාපතිවරයා හැටියට කටයුතු කිරීම බරපතළ වරදක්. ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩසටහනකට උපදේශක සභාවක් පත් කිරීම කියන කාරණාව මෙතන තියෙනවා. කවුද ඒ බිස්නස් මැනේජ්මන්ට් ආයතනයේ ප්‍රධාන නිලධාරියා.කෝප් කමිටුවේ සභාපති රංජිත් බණ්ඩාර මැතිතුමාමයි. මේක බරපතළ ගැටලුවක්” සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී කීය. මෙහි තවත් වැදගත් කරුණක් නම් කෝප් කමිටුව වෙත සිය පුත්‍රයා රැගෙන ආවේ කුමන බලයකින්ද? යන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී කළ ප්‍රශ්න කිරීමට පිළිතුරක් ලෙස මහාචාර්ය රංජිත් බණ්ඩාර විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයාට යොමු කර තිබෙන ලිපියයි.

තම පුතු තමන්ගේ සම්බන්ධීකරණ ලේකම් නිසා එසේ එම රැස්වීමට එක් කර ගත් බව ඔහු එම ලිපියෙන් දන්වා තිබේ. එමෙන්ම දැන උගත්කම් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු දක්වන මහාචාර්ය වරයා ඔහු සිංහල ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම වැඩ කිරීමට හැකි ළඟදී නීතිඥවරයකු ලෙස පත්වීමට නියමිත අයකු බවද කියා ඇත.නමුදු තම පුතු ඊට එක්වීම අනවසර ප්‍රවේශයක් බව උගත් මහාචාර්ය රංජිත් බණ්ඩාර නික්මට වත් කියා නැත.එමෙන්ම ඔහු උගතකු ලෙස නම් කොට ඇති ඔහුගේ පුතුට ද ඒ පිළිබඳ දැනීමක් හෝ හැඟීමක් තිබී නැත.ඒ අනුව ඔහුගේ දැන උගත් කම් හා බුද්ධිය පිළිබඳ යම් තක්සේරුවකට ඒමට අපට පුළුවන.

කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහනුවර නගරයේ ක්‍රිකට් විශ්ව විද්‍යාලයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ උපදේශකයෙකු ලෙස වගකීම් භාරගෙන ඇති බව මේ වන විට සනාථ වී තිබේ.ඒ අතරේ ඕස්ට්‍රේලියාවේ පැවති පසුගිය විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාව කෝප් කමිටුව හමුවේ සාකච්ඡාවට ලක්වූ අවස්ථාවේ යමකුට නිහඬ වන ලෙස දබර ඇඟිල්ලෙන් හස්ත සංඥාවක් ද ලබා දුන් බවට මේ වන විට බොහෝ දෙනා කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර වෙත විවේචන එල්ල කොට තිබේ. ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ, මන්ත්‍රීවරුන් කෝප් කමිටුව හමුවට පැමිණ සිටි සාක්ෂිකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී කෝප් කමිටු සභාපතිවරයා දබරැගිල්ලෙන් හස්ත සංඥා ලබා දීමෙන් සාක්ෂිකරුවන් පාලනය කළ බවයි. විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ, මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.නමුත් කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර සිටියේ, පිරිසක් පැමිණ එම “ස්වාධීන කමිටුව” දේශපාලනීකරණය කිරීමට උත්සාහ කළ බව අතර තමන් එය පාලනය කිරීම පිණිස මුවට දබරැඟිල්ල තබා ඔවුන් නිහඬ කළ බවකි.එහෙත් විවෘත සභාවක යමක් සන්නිවේදනය කිරීමේ දී වාචික මාධ්‍ය වෙනුවන් එලෙස”ඉඟි බිඟි පෑම පිළිගත් ක්‍රමයක් නොවන බව කවුරුත් දන්නා කරුණකි.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය කතානායක මහින්ද යාපා අබේවර්ධන ගෙන් කළ විමසුමක දී ඔහු පැවසුවේ කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ ඒ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවකි.ඔහු සිය පුත්‍රයා කෝප් කමිටුව හමුවට කැඳවා ගෙන ඒම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගන්නා බව ද කතානායකවරයා පවසා තිබේ.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු සෙවීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුතු පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන ලෙසට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කොට තිබේ.කෝප් කමිටුවේ රැස්වීම් දින නියමයක් නොමැතිව නතර කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කොට ඇත.නමුත් මේ සියළු තීන්දු තීරණ තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ සිදුව ඇති මහා පරිමාන වංචා දූෂණ සඟවාලීමේ නිහඩ ප්‍රයත්නයක් පවතින බවට බොහෝ දෙනකු තුළ පවතින විශ්වාසය බැහැර කිරීමට ද අපට නොපුළුවන.

රේණුකා දමයන්ති

එතෙර - මෙතෙර