ගල් අඟුරු සැපයුම් සමාගම ජනපති හමුවේ කට අරියි

නිසි විද්‍යාත්මක පහසුකම් නොමැතිව ලංකාව තුළ ගල් අඟුරු පරීක්ෂා කර ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරන වාර්තා පිළිගැනීමට තමන්ට නොහැකි බව ගල් අඟුරු සැපයුම්කාර සමාගම විසින් ජනාධිපතිවරයා වෙත වාර්තා කර ඇත. ඒ සඳහා ගිවිසුමට අනුව කටයුතු කිරීම අවහිර කර ඇති බව ද සමාගම සඳහන් කර ඇත.විදුලිබල මණ්ඩලය විසින් කිසිදු විධිමත් අවසරයක් නොමැතිව සිදු කරන නිල නොවන වර්තා මාධ්‍ය මගින් එළිදැක්වීම හේතුවෙන් මේ වන විට අන්තර් ජාතික මට්ටමේ අර්බුදයක් ගොඩ නැගෙමින් ඇති බව ද ජනාධිපතිවරයා වෙත සැපයුම්කාර සමාගම විසින් දැනුම් දී තිබේ.. ඒ සම්බන්ධයෙන් නොරොච්චෝල ගල් අඟුරු සැපයුම්කරු සහ ජනපති අනුර කුමාර දිසානායක මහතා අතර දුරකතන සාකච්ඡාවක් සිදුව ඇති බව ද වාර්තා වේ.එහි දී ගල් අඟුරු සැපයීමේ දී මතුව ඇති තත්වය පිළිබඳ දෙපාර්ශවය අතර අදහස් හුවමාරුවී ඇති අතර, සැපයුම්කරුවන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ තමන්ගේ සියළු සැපයුම් සාම්පල ‘තුන්වන පාර්ශවයක් හරහා නැවත පරීක්ෂාවකට’ අවසර ලබා දෙන ලෙස ය.නමුත් නොරොච්චෝලේ බලාගාරයේ භාවිතා වන ගල් අඟුරු මඟින් නියමිත විදුලි නිෂ්පාදන ධාරිතාව ලබා ගත නොහැකි බව බලාගාර ඉංජිනේරුවන් තම රාජකාරී සටහන් වල ද සඳහන් කොට තිබේ.පළමු ගල් අඟුරු නැවේ ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක් හේතුවෙන් සැපයුම් සමාගමට ලංකා රජය විසින් දඩයක් නියම කර ඇත.දෙවන ගල් අඟුරු නැවේ ප්‍රමිතිය නියමිත මට්ටමින් පැවතී ඇති අතර මේ වන විට විදුලිබල මණ්ඩල‍යේ නිලධාරීන් පවසන්නේ තුන්වන ගල් අඟුරු නැවේ ප්‍රමිතිය දුර්වල බවයි.සෑම නැවකම ප්‍රමිතිය පැටවීමේ හා නොරොච්චෝලේ දී දෙවරක් පරීක්ෂා කෙරේ. ලෝකයේ පිළිගත් රසායනාගාරයක් වෙත පළමු නැවේ සාම්පල යැවීමට බලශක්ති අමාත්‍යාංශය අවසර දී තිබු නමුත් දෙවන හා තුන්වල නැව්වල ප්‍රමිතිය තුන්වන පාර්ශවයක් හරහා පරීක්ෂා කිරිමට නොරෙච්චෝල බලධාරීන් අවසර දී නොමැති බවක් ද පැවසෙයි.ඒ අනුව. තමන්ට ගිවිසුම අනුව ‘යුවමර් පරීක්ෂණය”ට අවස්ථාව ලබා දෙන ලෙස සැපයුම්කරුවන් ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා ඇත.මේ වන විට ගල් අඟුරු නැව් 3 ක් ලංකාවට පැමිණ ඇත. තවත් නැව් තුනක් ලංකාව බලා එමින් ඇත.

කාලීන පුවත්