ග්‍රහලෝකවලට ඔබේ ජීවිතයේ සුබ අසුබ තීරණය කරන්න පුළුවන්ද? – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

ලංකාවේ ගොඩක් දෙනෙක් නැකත් බලල වැඩ කරනවනේ, නේද?
නැකතක් කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ මොකක් හරි දෙයක් කරන්න සුදුසුම හොඳම වෙලාවක් කියන එකනෙ .එහෙම නේද?
ඇත්තටම මොකක් හරි වැඩක් කරන්න හොඳම මොහොත මේකයි කියලා තීරණය කරන්නේ කවුද ?
ඒක තීරණය කරන්න ඕනෙ ඒ වැඩේ කරන කෙනාමයි.
ඒත් ඔය නැකත් බලලා වැඩ කරන අය කටයුතු කරන්නේ ඒගොල්ලන්ට ඕන වෙලාවට නෙමෙයි, වෙන කවුරුහරි තීරණය කරන වෙලාවක් අනුව.
බොහෝ වෙලාවට ඔය සුබ මොහොත කියන වෙලාව තීරණය කරන්නේ නක්ෂත්‍රය කියලා එකක් ගැන දන්නවයි කියාගන්න පුද්ගලයින් විසින්.
ඒක කරන්නෙත් ග්‍රහලෝකවල පිහිටීම අනුව ගණන් හදලා බලලයි කියලයි කියන්නෙ.
තාරකා විද්‍යාඥයෝ ග්‍රහලෝක ගැන නොයෙකුත් දේවල් විද්‍යාත්මකව සොයා දැනගෙන අපව දැනුවත් කරලා තියෙනවා.
ඒකට ඉතිං ගණිත ශාස්ත්‍රය අනිවාර්යෙන්ම වැදගත් වෙනවා.
මිනිස්සු හඳටත් ගියානේ.

සඳ ගමන් කරන වේගය, ඊට සාපේක්ෂව පෘථිවිය ගමන් කරන වේගය, ගමන් මාර්ගය, පෘථිවියත් හඳත් අතර ඇති දුර ප්‍රමාණය, ගුරුත්වාකර්ෂණ බලයේ වෙනස්කම්, යනාදී බොහෝ දේ හරියටම නූලටම ගණන් හදලා බලලා තමයි මිනිස්සු හදටත් ගිහිල්ලා හඳෙන් පස් පවා අරගෙන ආවෙ.
බස් එකක් කෝච්චියක් යනව වගේ ලේසි නැහැ හඳට යනකොට.
රොකට් එකක් පෘථිවියෙන් පිටත් වෙනකොට හඳ තියෙන්නේ එක තැනක. හඳට ලඟා වෙද්දි හඳ තියෙන්නේ ඊට බොහෝ දුරක් ඈතින්.
හඳෙන් ආපහු එනකොට මවුයානයට අනිත් කොටස කක්ෂය තුළදී ගමන් කරමින්ම සම්බන්ධ වෙන එක මොන තරම් සූක්ෂම ලෙස හරියටම නූලට ගණන් හදල බලල කරන්න ඕන වැඩක්ද!
අන්න ඒ වගේ ප්‍රායෝගික දේකට විද්‍යාත්මකව ග්‍රහලෝක ගැන, ගණිත ශාස්ත්‍රය ගැන ඉගෙනගෙන කටයුතු කරන එක ඇත්තෙන්ම කොච්චර වටිනවද කොච්චර අවශ්‍යද! කොච්චර නිවැරදිද!

ඒත් මේ ග්‍රහලෝකවල පිහිටීම කෙනෙකුට වාසනාව අවාසනාව ගේන්නෙ කොහොමද, අපි අඳින වස්ත්‍රයේ පාට ඒකට බලපාන්නේ කොහොමද, ඒක සුභ මොහොතක් හෝ අසුභ මොහොතක් වෙන්නේ කොහොමද, කියන එක තීරණය කරන්නේ කවුද?කොහොමද? මොන පදනමක් යටතේද ?
ඇත්තම කියනවනම් ග්‍රහලෝකයක් කියන්නේ පස් වලින් නැත්නම් මැටිවලින් හැදුනු බෝලයක්. එහෙම මැටි බෝලයකට පුළුලුවන්ද කෙනෙකුගේ ජීවිතය ගැන අනාවැකි කියන්න? සුභ හෝ අසුභ හෝ මොහොතක් තීරණය කරන්න?
හොඳට හිතලා ඔබම පිළිතුරු තීරණය කරගන්න.
ඕනෙම දෙයක් කරන්න, ඕනම වැඩක් පටන් ගන්න, හොඳම සුභම මොහොත තමයි වර්තමාන මේ මොහොත.
අපිට අතීතය ආපහු ගන්න බෑ. අනාගතය ගැන විශ්වාසය තියන්න පුළුවන්කමකුත් නැහැ.. අපට මොනවා හරි කරනවා නම් කරන්න පුළුවන් එකම හොඳම ප්‍රායෝගික මොහොත මේ මොහොත විතරයි.
අපි නැකැත් ගැන කරදර වෙන්නේ අපි හරියටම නූලට තත්පරයට වැඩකරන ජාතියක් වගේ . ඒත් හරියට වෙලාවට වැඩ කරන්නේ කීයෙන් කී දෙනාද.!
කෝච්චියක් බස් එකක්වත් හරි වෙලාවට යනවද? එදිනෙදා වෙලාවට වැඩට යනවද?
ජපානය, නිව්සිලන්තය, කැනඩාව වගේ දියුණු රටවල් ඔය නැකත් ගැන හිතන්නෙවත් නෑ. සමහර විට දන්නෙත් නෑ.
ජපානයේ දුම්රියක් තත්පර විස්සක් කලින් පිටත් වුනා කියලා , යම්කිසි අපහසුතාවයකට පත්වුණා නම් සමාවෙන්න කියලා මගීන්ගෙන් සමාව ඉල්ලා තිබුණා.. විනාඩි විස්සක් නෙමෙයි හොදේ !තත්පර 20ක්! ඒ මිනිස්සු නැකත්වලට වැඩ කරන්නේ නැහැ. ඒත් හරියට වෙලාවට වැඩ කරන්න ඉගෙනගෙන තියෙන මිනිස්සුු.
අපේ රටේ, කෝච්චි බස් වලට හිටියත්, බැංකුවකට ගියත්, ඉස්පිරිතාලෙකට ගියත්, ආණ්ඩුවේ කන්තෝරුවකින් වැඩක් කරගන්නට ගියත් මොනතරම් කාලයක් අපි නාස්ති කරනවද…
වෙලාවේ අගය තේරුම් අරගෙන, පුරවැසියන් හැම දෙනාම එකට එකතු වෙලා එක වෙලාවට වැඩකරන්න පුරුදු වෙන එක නම් දියුණුවන ජාතියකට ඉතාම අත්‍යවශ්‍යයයි.
පෞද්ගලිකවත් සමාජයක් වශයෙනුත් ඒක අපට හරිම වටින දෙයක්.
ඒත් එක දවසක් විතරක් හරියට නැකතට එක එක දේවල් කරලා වැඩක් තියෙනවද?
ඇයි අනෙක් දවස්වල අපට හරියට වෙලාවට වැඩ කරන්න බැරි ?
අවුරුදු සිය ගණනක් තිස්සේ අපි නැකතට වැඩ කරන්න පුරුදු වෙච්ච ජාතියක්. ඒත් අපිට ඒවා මොන විදිහටද ප්‍රතිඵල ගෙනත් දීලා තියෙන්නේ කියලා ඔබම හිතලා බලන්න.
නැකැත් බලලා වැඩ පටන් ගත්ත අයගේ සියළු වැඩ සාර්ථක වෙලා තියෙනවද?
ඒ වගේම නැකත් ගැන කිසිම විශ්වාසයක් නැතුව වැඩ පටන් ගත්ත අය හැමෝගෙම ජීවිත අසාර්ථක වෙලා තියෙනවද ?
ඇත්තෙන්ම නැහැ.
තාරුකා වලට ග්‍රහලෝකවලට අපේ සුභ අසුභ තීරණය කරන්න පුලුවන්ද ?
හිතල බලන්න. මිථ්‍යාව මොකක්ද සත්‍යය මොකක්ද කියලා පැහැදිලිව වෙන්කර හඳුනා ගන්න.
හැම දේකටම මුල් වෙන්නෙ ඔබේ හිතමයි කියන වටිනා සිතුවිල්ල නිරන්තරයෙන්ම හිතේ තැන්පත් කරගෙන ක්‍රියාකරන්න.
හැතැක්ම ගණනාවක් ඈත තියෙන මැටිගුලියකට ඔබේ ජීවිතයේ සුබ අසුභ තීරණය කරන්න ඉඩ දෙනවද?
එහෙම නැත්නම් ඔබ තුළ ඇති නිවහල්ව සිතීමේ ශක්තිය ප්‍රයෝජනයට අරගෙන, ආත්ම ශක්තියෙන් කැපවීමෙන් ඔබේ සාර්ථකත්වයේ ගමන යනවද? හොඳට හිතල බලලා හොඳයි කියල හිතෙන, හරියි කියල හිතෙන දෙයක් කරන්න.
සංස්කෘතික වශයෙන් සිංහල අවුරුද්ද අපේ රටේ හරිම ලස්සන වටිනා මංගල්‍යයක්. මනෝ විද්‍යාත්මකව සතුට උපදවන දරු දෙමව්පියන් නෑදෑ හිතවතුන් ආදරයෙන් ලංවන සුන්දර ආදරණීය සන්ධිස්ථානයක්.
ඒ ආදරණීය හැඟීම් උපරිමයෙන් භුක්ති විඳින්නට ඔබට ආශිර්වාද බහුල වූ
සුභ අලුත් අවුරුද්දක් වේවා !

මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

එතෙර - මෙතෙර