ගෙදර දොර සුරතලුන් ගැන ඔබ නොදන්නා කරුණු ගොන්නක්

අපි බොහෝ දෙනෙක් සුරතල් සතුන් ලෙස සුනඛයන් සහ බළලුන් ඇති දැඩි කරන්නට කැමැත්තෝ වෙමු. නිවසේ සිටින මේ සතුන්ට නම් තබා ඔවුන්ට ආදරයෙන් කතා කරන්නට පුරුදුව සිටිමු. “අපේ ජිමියට නම් අපි කියන දේ හොඳට තේරෙනවා” යැයි ද බොහෝ විට පවසන්නෙමු. එය බොහෝ විට සැබෑ විය හැකිය. නමුත් ගැටලුව වන්නේ සුරතලුන් පවසන දේ හෝ හඟවන දේ අපට තේරුම් ගැනීමට හැකියාවක් තිබේද යන්න ය. ඔවුන්ගේ බොහෝ හැඟීම අපට පවසන්නට ඔවුන්ට හැකියාවක් නැත. අපට ඒවා සොයාගත හැකි වන්නේ ඔවුන්ගේ හැසිරීම් රටා තුළින් ය. ඔවුන් සිය හැසිරීම්වලින් පවසන්නට උත්සාහ කරන බොහෝ දේවල් අපට වැටහෙන්නේ නැත. එක්කෝ අප ඒවා තේරුම් ගන්නේ නිවැරදි ආකාරයට නොවේ. මේ පවසන්නට යන කරුණු පිළිබඳ හොඳින් අවධානය යොමු කළ හොත් අදින් පසු ඔබට ඔවුන් සිය හැසිරීම් තුළින් පවසන්නට උත්සාහ කරන බොහෝ දේවල් පහසුවෙන් අවබෝධ කරගන්නට හැකි වනු නිසැකය.

සුනඛයන් සහ බළලුන් භෞමික සීමාවන් පිළිබඳ අතිශයින් සැලකිලිමත් වන සතුන් ය. එනම් මේ සෑම සතෙක්ම තමාට අනන්‍ය වූ භූමි සීමාවක් තුළ, ජීවත්වන්නට කැමැත්තක් දක්වති. තමාට අයත් වන්නේ මේ සීමාව යැයි විවිධ ක්‍රම සහ විවිධ මට්ටම්වලින් පෙන්නුම් කරන්නට ඔවුහු පෙළඹෙති. උදාහරණයක් ලෙස සුනඛයෙක් ගතහොත්, ඌ තමාට අයත් සීමාව තුළට කවුරුන් හෝ අනවසරයෙන් ඇතුළුවන්නේ නම් බුරමින් අදාළ ආගනතුකයාව පළවා හරින්නට පෙළඹෙයි. බළලුන් නම් තම සීමාවේ ඇති කුමක් හෝ වස්තුවක මුහුණ ස්පර්ශ කරනු දකින්නට හැකිය.
ඇතැම්විට මොවුහු මේ හැසිරීම්වලින් තවත් ඔබ්බට ගොස් මුත්‍රකිරීමෙන් හෝ මළපහ කිරීමෙන් සිය සීමාව සළකුණු කොට පෙන්වති. මුත්‍ර කිරීමෙන් ඔවුන් අදහස් කරන්නේ නිවස අපවිත්‍රකිරීමක් නොව සිය සීමාව සළකුණු කිරීමකි. එබැවින්, මේ ගැටලුව නිරාකරණය කරගැනීම සඳහා ඔවුන් සිය සීමාව සළකුණු කිරීමට ගන්නා උත්සාහයට හේතුව කුමක් ද යන්න අවබෝධ කොටගෙන එයට විසඳුම් සෙවීම වඩාත් සාර්ථක කටයුත්තකි.

ඔබේ සුරතලා සැබවින්ම කරන්නේ නිවස අපවිත්‍ර කිරීම ද, නැතහොත් සීමාව සළකුණුකිරීම ද යන්න වෙන්කොට හඳුනාගන්නේ කෙසේද?
පහත කරුණු පිළිබඳ ඔබේ අවධානය යොමු කරන්න.

■ ගැටලුව වන්නේ මූලිකවම මුත්‍ර කිරීමය. සුනඛයන් සහ බළලුන් මළවලින් සීමා සළකුණු කරන්නේ ඉතා කලාතුරකිනි.

■ මුත්‍ර කරන ප්‍රමාණය ඉතා ස්වල්පයක් වන අතර එය බොහෝ විට සිදු කෙරෙන්නේ ඍජු, තිරස් මතුපිටකය. සුනඛයන් සහ බළලුන් ඇතැම් විට සිරස් මතුපිටවල ද මුත්‍රකිරීම දකින්නට ලැබේ. කකුල එසවීම සහ මුත්‍ර ඉසීම තුළින් පෙන්නුම් කරන්නේ ඔවුන් සිය සීමාව වඩාත් ප්‍රබල ලෙස සළකුණු කිරීමකි. නමුත් ඇතැම්විට ඔබේ සුරතලා මේ කිසිදු ඉරියව්වකට නොපැමිණ මුත්‍ර කිරීමකින් වුව පෙන්නුම් කරන්නේ සීමාවන් සළකුණු කිරීමක් වන්නට පුළුවන.

■ ඔබේ නිවසේ සිටින සුරතලා ඇතැම්විට වන්ධ්‍යකරණයට පත් නොකළ සතෙකු වන්නට පුළුවන. මෙවැනි සතුන්, වන්ධ්‍යකරණයට ලක් කරන ලද සතුන්ට වඩා මුත්‍රවලින් සිය සීමාවන් සළකුණු කරනු දකින්නට පුළුවන. කෙසේ නමුත්, නිවසේ සිටින වන්ධ්‍යකරණයට ලක්නොකරන ලද සතුන්ගේ සීමා සළකුණු කිරීම්වලට ප්‍රතිචාර වශයෙන් ඇතැම් අවස්ථාවල දී වන්ධ්‍යකරණයට ලක් කළ සතුන් ද මුත්‍රවලින් සීමා සළකුණු කරනු දැකිය හැකි වේ.

■ ඔබේ සුරතලා නිවසට ගෙනා අලුත් බඩු භාණ්ඩ (ෂොපිං මලු, ආගන්තුකයකුගේ බෑගයක් වැනි), කලින් නොදැනුණු ගන්ධයක් ඇති භාණ්ඩ හෝ වෙනත් සතකුගේ ගන්ධයක් ඇති බඩු භාණ්ඩ මත මුත්‍ර කරනු දක්නට හැකිය.

■ නිවසේ වෙසෙන වෙනත් සතුන් සමග ඔබේ සුරතලාට යම් ගැටලු ඇති විය හැකිය. නිවසේ සිටින සතුන්ගේ ආධිපත්‍ය පිළිවෙලේ ගැටලුවක් ඇති බව දැනුනහොත්, නිවසේ සිටින සුනඛ සුරතලා මුත්‍ර කරමින් සිය සීමාවන් සළකුණු කරන්නට පෙළඹෙනු දැකිය හැකිය. එක් බළලකු විසින් තවත් බළලකු අභිබවා ආධිපත්‍ය පතුරුවන්නේ නම්, දුර්වල බළලා සිය සිතෙහි ඇති වූ කාංසාව පෙන්නුම්කිරීම සඳහා මුත්‍රවලින් සීමා සළකුණු කරනු දක්නට ලැබේ.

■ සුරතල් සතුන් නිවසින් පරිබාහිර වෙනත් සතුන් සමග ද සම්බන්ධතා පවත්වයි. නිවසින් පිටතට යන්නට ඉඩ සළසා ඇති බළලකුට පිටස්තර වෙනත් බළලකු මුණගැසුනහොත්, ඌ නැවත නිවසට පැමිණ මුත්‍රකරමින් සීමා මායිම් කරනු දකින්නට පුළුවන. ඔබේ සුරතලා නිවසේ දොරෙන් හෝ ජනේලයෙන් වෙනත් සතෙකු දුටුවහොත්, එය ද සීමා සළකුණු කිරීමට හේතුවක් යැයි සිතයි.

■ ඔබේ සුනඛ සුරතලා තමා ජීවත්වන වටපිටාවේ ඇවිදිමින් සීමා සළකුණු කරනු දැකිය හැකිය.
ඔබ කළ යුත්තේ කුමක්ද?

■ ඔබේ සුරතලා හැකි ඉක්මනින් වන්ධ්‍යකරණයට ලක් කරන්න. වන්ධ්‍යකරණ මගින් මුත්‍රවලින් සළකුණු කිරීම සහමුලින්ම නතරවිය හැකිය. කෙසේ නමුත් මුත්‍රවලින් සීමා මායිම් සළකුණුකිරීම බොහෝ කාලයක් තිස්සේ කරන්නයට පුරුදුව සිටියේ නම්, වන්ධ්‍යකරණය කිරීමෙන් පසුව වුව මේ පුරුද්ද නතර නොවී තිබිය හැකිය.

■ නිවසේ සිටින සතුන් අතර ඇති ගැටුම්කාරී තත්ත්වයන් විසඳාලන්නට කටයුතු කරන්න.

■ නිවසින් බැහැර සිටින් සතුන් දකින්නට ඔබේ සුරතලුන්ට ඇති අවස්ථාවන් හැකිතාක් සීමා කරන්න. මෙය කළ නොහැකි නම් වෙනත් සතුන් ඔබේ නිවස අවට ගැවසීමට ඇති අවස්ථාවන් අවම කරන්න.

■ ඔබේ බළල් සුරතලුන් නිවස තුළම තබාගන්නට උත්සාහ කරන්න. එය ඔවුන්ගේ ආරක්ෂාවට සහ දීර්ඝායුෂ ලැබීමට හේතුවන අතර සීමා මායිම් ලකුණු කිරීමේ අවශ්‍යතාවන් ද අවම කරවයි.

■ නිවස තුළ අපිරිසිදු කරල ලද ස්ථාන හොඳින් පිරිසිදු කරන්න. මේ සඳහා අධික ගන්ධයක් ඇති පිරිසිදුකාරක යොදා ගැනීමෙන් වළකින්න. එසේ වුවහොත් මේ ආගන්තුක ගන්ධය නිසාම ඔවුන් නැවත සීමා සළකුණු කිරීමට පෙළඹිය හැකිය.

■ නිවස තුළ කලින් අපිරිසිදු කළ ස්ථාන කරා ළඟාවීමට ඇති අවස්ථාව අවහිර කරන්න.

■ අපිරිසිදු කළ ස්ථාන කරා ළඟාවීමට ඇති අවස්ථාව අවහිර කිරීම කළ නොහැකි නම්, ඒ ප්‍රදේශවල අපිරිසිදු කරන්නට සුරතලුන්ට ඇති ඕනෑකම අධෛර්යවත් කරන්න. ඔවුන් සුරතල් කරන්නට, කෑම ලබාදීමට, ඔවුන් සමග සෙල්ලම් කරන්නට එම ප්‍රදේශ තෝරා ගැනීම තුළින් මෙය සිදුකළ හැකිය.

■ සීමා සළකුණු කරන්නට පෙළෙඹෙන බඩු භාණ්ඩ සුරතලුන්ට ළඟා විය නොහැකි ස්ථානවලින් තබන්න. අමුත්තන්ගේ බෑග්, අලුතින් මිලට ගත් දෑ වසා තැබිය හැකි ස්ථානයක තබන්න.

■ ඔබේ නිවසට පැමිණි නව සාමාජිකයකු (අලුත උපන් බිළිඳකු, කාමරයක නවතින්නට පැමිණි අයකු හෝ විවාහ සහකරු හෝ සහකාරිය වැනි) හේතුවෙන් සුරතලා මුත්‍රවලින් සීමා සළකුණු කරන්නට පෙළඹෙන්නේ නම්, අලුත් සාමාජිකයා සුරතලාගේ හිතවතකු බවට පත්කරන්න. නව සාමාජිකයකු පැමිණි විට සුරතලාට ඇති සැලකිල්ල වැඩි කරන්න.

■ සුනඛයන් සඳහා විශේෂයෙන් මේ කරුණු සිතට ගන්න. නිවස තුළ සිටින ඔබේ සුනඛ සුරතලා, මුත්‍ර කරන්නට සැරසෙන ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නම්, ඉහළ හඬක් ඇති කොට ඌ එයින් වළක්වා නිවසින් පිටතට රැගෙන යන්න. ඌ නිවසින් පිටතට ගොස් මුත්‍ර කළේ නම් ආදරයෙන් කතාබහ කොට කෑමට යමක් දෙන්න. ඔබට නිතර සුනඛ සුරතලා කෙරෙහි සැලකිල්ලක් දක්වන්නට හැකියාවක් නැත්නම්, ඌව කූඩුවක හෝ යම් කොටුවක වැනි ස්ථානයකට සීමා කරන්න.

■ බළල් සුරතලුන් සඳහා මේ කරුණු කෙරෙහි සැලකිලිමත් වන්න. ඔබේ බළල් සුරතලාගේ හැසිරීම් කෙරෙහි අවධානයෙන් ඉන්න. ඌ කලින් සළකුණු කළ ප්‍රදේශයක් නැවත ඉව අල්ලනු දුටුවේ නම්, දැඩි හඬක් ඇති කරන්න. නැතිනම් ඇඟට ජලය ස්වල්පයක් ඉසින්න. ඌට ඔබව නොපෙනෙන සේ මෙය කළ හැකි නම් වඩාත් සුදුසු ය. නොඑසේනම් ඌට ඔබ ගැන අප්‍රසන්නශීලී හැඟීමක් ඇති වී සළකුණු කිරීමේ අවශ්‍යතාව නැවත ඇතිවන්නට පුළුවන.

■ සුනඛ සුරතලුන් සම්බන්ධයෙන් සළකා බැලුවහොත්, ඔබ ඔබගේ නායකත්වය ඌට දැනෙන්නට හැරිය යුතුය. අඩුම තරමේ එක් විධානයකට පමණක් හෝ කීකරුවන්නට සුනඛ සුරතලාව පුහුණු කරන්න. සුනඛ සුරතලාගේ සියලු දේ සඳහා ඔබ අවශ්‍ය යන්න ඌට අවබෝධ කරවන්න. කන්න දෙන්නට පෙර සුනඛ සුරතලා සමග සෙල්ලම් කරන්න. ඌට සෙල්ලම් බඩුවක් ලබාදෙන්න. ඔබගේ නායකත්වයට පිළිබඳ සුනඛ සුරතලාට අවබෝධයක් ලබාදුන් පසු මුත්‍රකිරීමෙන් සීමා සළකුණු කිරීමේ අවශ්‍යතාව කෙමෙන් තුරන්ව යනු ඇත.

මේවා කිරීමෙන් වළකින්න

යම් වරදක් කිරීමෙන් පසු සුරතලුන්ට දඬුවම් දීමෙන් වළකින්න. යම් වරදක් කිරීමෙන් සුළු මොහොතකින් පසුව වුව දඬුවම් ලබාදීමේ ප්‍රතිඵලයක් නැත. මන්ද තමාට දඬුවම් දෙන්නේ කුමන හේතුවකටදැයි ඔවුන්ට අවබෝධයක් නොමැති නිසාය.

සුරතලුන් යනු මිනිසුන් නොවේ

වෛරය හෝ ඊර්ෂ්‍යාව නිසා මොවුන් මුත්‍ර කරන්නේ නැත. ඔබේ සුරතලා, ඔබේ බිළිඳාගේ බඩු භාණ්ඩ දමන බෑගයට මුත්‍ර කළේ නම්, ඒ දරුවා කෙරෙහි ඇති ඊර්ෂ්‍යාවක් හෝ දරුවා කෙරෙහි ඇති අකැමැත්තක් නිසා නොවේ. නිවස තුළ ඇති නුපුරුදු ගන්ධයන් හෝ අලුත උපන් දරුවාගේ හඬ නිසා මේ සුරතලුන් තම සීමා මායිම් සළකුණු කරන්නට නැවත පෙළඹෙයි. ඔබේ පෙම්වතාගේ බෑගයට සුරතලා මුත්‍ර කළේ නම්, ඒ ඔබ පිරිමියකු කෙරෙහි ඇති ඇල්මට ඇති අකැමැත්ත නිසා කළ දෙයක් නොවේ. එයින් නැගෙන ආගන්තුක සුවඳ නිසා ඔවුන්ට දැනෙන්නේ තම සීමාව තුළට අනවසරයෙන් කවුරුන් හෝ පැමිණ ඇති බවය.

ආධිපත්‍යය සහ කාංසාව

ආධිපත්‍යය තහවුරු කරගැනීමේ අවශ්‍යතාව නිසා ද මේ සතුන් මුත්‍රකිරීමට පෙළෙඹෙයි. මෙය වඩා ප්‍රමුඛ හේතුව වෙද්දී, කාංසාව නිසා ද මේ අවශ්‍යතාව ඇති වේ. උදාහරණයක් ලෙස ගතහොත් අලුත් උපන් බිළිඳා නිසා නිවසේ වෙනදා නොපැවති ශබ්දයන්, ගන්ධයන් සහ නිවසට පැමිණෙන්නන් වැඩි වන්නට පුළුවන. මේ නිසා සුරතලාගේ සුපුරුදු චර්යාවන් ද වෙනසකට ලක් විය හැකිය. මේ නිසා කලින් ඔබේ සුරතලාට ලැබුණු අවධානය අඩු වී යා හැකිය. මේ නිසා සුරතලා තුළ කාංසා තත්ත්වයක් ඇති වී යළිත් මුත්‍ර කරන්නට පෙළඹිය හැකිය. නිවසට අලුතින් සුරතල් සතෙකු රැගෙන පැමිණීමෙන් පසුව ද මෙවැනි කාංසා තත්ත්වයක් ඇති විය හැකිය. ඔබේ සුරතලාට ද කාංසා තත්ත්වයක් ඇති බව පෙනෙන්නේ නම් හොඳම දේ පශු වෛද්‍යවරයෙක් හමුවන්නට යාමය.

සුරතල් සතුන් මුත්‍රවලින් සිය සීමාවන් සළකුණු කිරීම පිළිබඳ ඉහල සඳහන් කොට ඇති කරුණු, ඔබේ සුරතලා දෙස නව ඇසකින් බලන්නට ඔබට හැකියාවක් ලබා දෙනු නොඅනුමානය. ඒ අවබෝධය තුළින් ඔබත් සුරතලාත් අතර ඇති බැඳීම තවතවත් වර්ධනය වනු ඇත.

නිරංජන් චාමින්ද කරුණාතිලක

සතුන්ටත් හිමි අපේ ලෝකය