ගෝඨා ඇද දැමූ කටු පොල් තහංචි උගුලෙන් වගා කරුවන් මුදා ගැනීම හොඳ දෙයක්!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ තහනමට ලක් කළ කටුපොල් වගාව යළි ආරම්භ කිරීම සඳහා ක්‍රියා මාර්ග ගනිමින් සිටින බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක කටුපොල් වගා කරුවන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය. කටු පොල් වගා කරන ගොවීන් මේ වන විට මුහුණ පා ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රවී කරුණානායක හිටපු අමාත්‍යවරයා පසුගිය මතුගම බදුරලිය ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක් විය. එය සංවිධානය කර තිබුණේ ‘හරිත දෙරණ’ කුඩා හා මධ්‍ය පරිමාණ වැවිලිකරුවන්ගේ සංගමය විසිනි.කටු පොල් වගාව තහනම් කිරීම නිසා එම වගාව ආශ්‍රිත පවුල් විශාල ප්‍රමාණයක් ආර්ථික ගැටළු රැසකට මුහුණ දී සිටින බව එහිදී අනාවරණය විය. රටට විශාල විදේශ විනිමයක් උපයා දෙන අපනයන බෝගයක් ලෙස දියුණු කළ හැකි කටු පොල් වගාව එළවළු තෙල් ආනයනනය කරන සමාගම් කරුවන් ගේ සහ ගෝඨාභය රාජපක්ෂට ලංවී සිටි වෙනත් මොඩ පන්ඩිතයන් දුන් වැරදි උපදෙස් මත හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එක් වරම තහනම් කළ අතර ඒ සම්බන්ධයෙන් වගා කරුවන් පාර්ශවයන්ගෙන් අදහස් විමසුමක් පවා සිදු නොකළ බව කටු පොල් වගා කරුවෝ කියති.එමෙන්ම පරිසරවේදීන් ‍යැයි කියා ගන්නා පුද්ගලයන්;ඇතැම් විට ඉහත සඳහන් සමාගම් කරුවන් ගෙන් අත යට මුදල් ලබා ගෙන කටු පොල් වගාව සම්බන්ධ පතුරුවා ඇති වැරදි මත මුල් කොට මේ වන විට මාධ්‍ය කරුවන් පවා තම හඬට කන් නොදෙන තත්වයක් උද්ගතව ඇතැයි වගා කරුවෝ පෙර සිටම කියා සිටියහ.

තම ඉඩම්වල මෙන්ම රජයේ ඉඩම්වල කටුපොල් වගා කිරීමට නැවත අවසර ලබා දුන්නොත් සෙසු බොහෝ අපනයන බෝග වලට වඩා වැඩි විදේශ විනිමයක් රටට ලබාගත හැකි බව ද ගොවීන් මෙවර රවී කරුණානායක හිටපු අමාත්‍යවරයා හමුවේ අවධාරණය කර සිටියේ ලද අවස්ථාවෙන් ප්‍රයෝජනය ගනිමිනි.ඔවුන් එහි දී හිටපු අමාත්‍යවරයා හමුවේ අවධාරණය කොට සිටියේ අක්කරයක කටු පොල් වගාවකින් මසකට රුපියල් 75,000ක ශුද්ධ ආදායමක් උපයා ගත හැකි බවකි.එය තේ සහ රබර් වගාවෙන් ලද හැකි ආදායම ඉක්මවන බව ද ඔව්හු කීහ. එමෙන්ම ඇතැමුන් පවසන අන්දමට කටු පොල් වගාවෙන් පරිසර විනාශයක් සිදු වන්නේ නම් මැලේසියාව, ඉන්දුනීසියාව වැනි රටවල ප්‍රධාන අපනයන බෝගයක් ලෙස කටු පොල් මෙතරම් ව්‍යාප්ත සහ ප්‍රවර්ධනය කොට ඇත්තේ මන්දැයි කටු පොල් වගා කරුවෝ අසති. ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය ඇද දැමූ මෙම වලෙන් ගොඩ ගන්නා මෙන් ඔව්හු හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක රවි කරුණානායක ගෙන් ඉල්ලා සිටියහ. මේ වන විට තහනමට ලක් කළ කටුපොල් වගාව යළි ආරම්භ කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව හිටපු මුදල් අමාත්‍ය වරයා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ ඉන් අනතුරුව ය. කටුපොල් වගාව පරිසරයට ඉතා අහිතකර ලෙස බලපාන බව පොදු සේම ජනප්‍රිය පිළිගැනීම ය.එය නිවර්තන කලාපීය වනාන්තර විනාශයට සහ සත්ව විශේෂ කෙරෙහි ඉතා දැඩි බලපෑමක් ඇති කිරීමට කටුපොල් වගාව හේතු වන බව අපි ද කොතෙකුත් අසා ඇත්තෙමු.

2021 වසරේ අප්‍රේල් මාසයේ දී එවක රජය එතෙක් කටුපොල් වගාව සම්බන්ධව පැවති ප්‍රතිපත්ති වෙනස් කරමින් පාම් තෙල් ගෙන්වීම හා එම බෝගය නැවත වගා කිරීම පමණක් නොව එතෙක් පැවති කටුපොල් වගාවන් පවා ක්‍රමයෙන් ඉවත් කිරීමට ද කටයුතු යොදන ලද්දේ ඒ අනුව ය. මෙම තීරණයට පරිසර අධිකාරිය මඟින් ලබාදුන් වාර්තාව හා පරිසරවේදීන් සහ විවිධ මාධ්‍ය මඟින් මෙම වගාවට එරෙහිව ගෙන යනු ලැබූ ප්‍රචාරක කටයුතු බල පා තිබූ අතර ඒවා හුදෙක් විද්‍යාත්මක පදනමකින් හා ප්‍රමිතියකින් යුතු ඒවා නොවන බව මේ වන විට තහවුරු වී තිබේ. මෙය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රසායනික පොහොර තහනමට නොදෙවෙනි අන්ධ භූත ක්‍රියාවකි. කටු පොල් වගා කිරීම මඟින් පරිසරයේ ජෛව විවිධත්වයට බරපතල හානියක් වීම, භූගත ජලයේ අඩුවීම සහ එම ජලය දුෂණය වීම,ජල උල්පත් සිඳී යාම එම වගාවන් ආශ්‍රිත පාරිසරික තුළණය බිඳ වැටීම නිසා සත්ව හා ශාක ප්‍රජාවේ පැවැත්මට අනර්ථකාරී ලෙස බලපෑම කටු පොල් මඟින් නිපදවන පාම් තෙල් ජනතාවගේ ශරීර සෞඛ්‍යට අයහපත් වීම ආදී කරුණු එහි දි දී විශේෂයෙන් හුවා දක්වන ලදී.

නමුදු පසුව කටුපොල් වගාව සහ කර්මාන්තයට සම්බන්ධ පාර්ශවයන් ගේ ඉල්ලීම පරිදි මේ සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට එවක රජය පියවර ගෙන තිබිණ. ඒ අනුව පවතින කටුපොල් වගාව ඉවත් කිරීමට බලපෑම් එල්ල නොවූ අතර නැවත පැළ රෝපණය කිරීම හෝ වගාව ව්‍යාප්ත කිරීම පමණක් තහනම් විය.නමුත් මෙම තහනම පිළිබඳ අදහස් දක්වන අදාල ක්ෂේත්‍ර වල විද්වතුන්ගේ මතය වූයේ මෙම ක්‍රියාමාර්ගය විද්‍යාත්මක, ප්‍රායෝගික හා දූරදර්ශී තීන්දුවක් නොවන බවයි.ඒ වන විටත් අන්තර් ජාතික පරිසර සංරක්ෂණ එකමුතුව ද කටුපොල් වගාව සම්බන්ධ විද්‍යාත්මක අධ්‍යයනයක් කොට තිබූ අතර එම පරිසර විනාශයට පිළියම එය සීමා කිරීම නොවන බව එමඟින් පෙන්වා දී තිබේ.ඒ සම්බන්ධ තුලනාත්මක අධ්‍යයනයක් කළ අන්තර් ජාතික පරිසර සංරක්ෂණ එකමුතුව එසේ කිරීමෙන් ඊට වඩා පරිසර විනාශයක් සිදුවිය හැකි බව පෙන්වා දී තිබේ. සමස්ත ලෝක වන විනාශයෙන් 0.4% කට කටුපොල් වගාව ඉවහල් වී ඇති බවත් එය ඉන්දුනීසියාවේ සහ මැලේසියාවේ සමහර ස්ථානවලදී 50% ද ඉක්මවා ඇති බවත් බව සත්‍යයකි.එනමුත්, එළවළු තෙල් සඳහා වන ඉල්ලුම ප්‍රවර්ධනය කිරීම පිණිස කටුපොල් වගාව තහනම් කිරීම විසඳුමක් නොවන බව මෙම වාර්තාව සැකසූ අන්තර් ජාතික පරිසර සංරක්ෂණ එකමුතුවේ මතය වී තිබේ.

නමුත් තත්වය එසේ තිබිය දීත් මෙම කටු පොල් විරෝධය සඳහා එළවළු තෙල් නිෂ්පාදනය කරන බහු ජාතික සමාගම් වල තොරොට්ටු ද ඉවහල් වී නැතැයි සහතික වීමට අපට නොපුළුවන. ලොව වැඩි වශයෙන්ම භාවිතයට ගන්නා එළවලු තෙල් වර්ගය වූ කටු පොල් යොදා නිපදවන පාම් තෙල් ලෝක එළවළු තෙල් සැපයුමෙන් 35% ක් සපුරන නමුත් ඒ සඳහා වැය වී ඇත්තේ සියලු එළවළු තෙල් නිෂ්පාදනය සඳහා යොදාගෙන ඇති භූමි ප්‍රමාණයෙන් 10% ක ප්‍රමාණයකි.එය තවත් අයුරකින් කිවහොත් මෙම සැපයුම, සෝයා හෝ සූරියකාන්ත හෝ වෙනත් භෝගයකින් සැපයීමට සළකා බලන්නේ නම් ඒ සඳහා දැනට කටුපොල් සඳහා භාවිත කර ඇති භුමි ප්‍රමාණය මෙන් නවගුණයක් විශාල භූමියක් අවශ්‍ය වේ. එමෙන්ම එමගින් මීට වඩා කිහිප ගුණයක පාරිසරික හානියක් සිදුවීමට ඉඩ තිබේ.එසේම කටු පොල් ගසක් වැඩි ජල ප්‍රමාණයක් පරිභෝජනය කරන බව සැබෑවකි. එසේ වුවද වඩාත් වැදගත් වන්නේ සමස්ත කටුපොල් වගා භූමි ප්‍රමාණය වශයෙන් සැලකූ විට දිනකට වැයවන ජලය ප්‍රමාණයයි. සාමාන්‍ය පොල් වගාවක් සඳහා හෙක්ටයාරයකට දිනකට ජලය ලීටර් විසි දාස් අටසීයක් අවශ්‍ය වන අතර, රබර් හෙක්ටයාරයක වගාවක් සඳහා දිනකට ජලය ලීටර් තිස් එක්දාස් පන්සීයක් වැය වේ. නමුත් කටුපොල් සඳහා එම අගය ජලය ලීටර් තිස් හතරදාස් අටසිය හැටකි. එනම් රබර් වගාවට සාපේක්ෂව විශාල වැඩිවීමක් පෙනෙන්නට නැත.ඒ අනුව විවිධ සමාජ කන්ඩායම් විසින් මෙලෙස කටු පොල් වගාව පසුපස පමණක් ලුහුබැඳීමේ හේතුව අප මනා සිහි බුද්ධියෙන් වටහා ගත යුතුය. රවී කරුණානායක හිටපු අමාත්‍යවරයා ගේ සෙසු දේශපාලනික පැටිකිරිය මෙතැනට අදාල කර නොගත හොත් ඔහු ගේ මෙම තීරණය ඔවුන් ගන්නා සෙසු බොහෝ තීරණ මෙන් අනර්ථයට හේතු නොවන බව කිව යුතුව තිබේ.

රේණුකා දමයන්ති

එතෙර - මෙතෙර