චීනයේ නියුමෝනියා ව්‍යාප්තියක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අවධානයෙන්

මේ වසරේ ශීත සෘතුව ආසන්න වෙමින් තිබිය දී චීනයෙන් නැවතත් නියුමෝනියා ව්‍යාප්තියක් ගැන වාර්තා වෙමින් තිබේ. මෙම රෝගයට වඩාත්ම ගොදුරු වෙමින් සිටින්නේ කුඩා දරුවන් බවක් ද සඳහන් වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය ද මේ ගැන දැඩි අවධානයෙන් පසුවන බවක් පෙනී යයි. උතුරු චීනයේ සමහර ප්‍රදේශවල නියුමෝනියා රෝගීන් පොකුරු වශයෙන් වාර්තා වන තත්ත්වයක් ඇති ව තිබේ. මේ නිසා රෝහල් ද රෝගීන්ගෙන් පිරී යමින් ඇති බව සඳහන් ය.

මෙම සටහන ලියන 25 වැනි සෙනසුරාදා වන විටත් ඉහත කී නියුමෝනියා තත්ත්වය ඇති කරන රෝග කාරකය නිශ්චිතව හඳුනාගෙන තිබුණේ නැත. එම තත්ත්වය තුළ ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයෙන් විශේෂ ඉල්ලීමක් කර තිබිණි. ඒ මෙම නියුමෝනියා තත්ත්වය සම්බන්ධයෙන් වැඩි විස්තර එම සංවිධානය වෙත ලබා දෙන ලෙස යි. රෝගය ව්‍යාප්ත වන ආකාරය පිලිබඳ තොරතුරු මෙන්ම සායනික (Clinical) තොරතුරු ද, මේ වනවිට කර තිබෙන පරීක්‍ෂාවන්ගේ ප්‍රතිඵල පිලිබඳ තොරතුරු ද තමුන් වෙත ලබා දෙන මෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය චීන සෞඛ්‍ය අංශවලින් ඉල්ලා තිබේ.

චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම මේ මාසයේ මුල් හරියේ මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා තිබුණේ රට තුළ ශ්වසන රෝග පැතිරීමෙහි වර්ධනයක් පෙන්නුම් කරන බවයි. පසුගිය වසර තුනේ මෙම කාලයට සාපේක්‍ෂව මේ වසරේ මෙවැනි වර්ධනයක් දැකිය හැකි බව එම කොමිසම පවසා තිබිණි. චීනය තුළ කොවිඩ් කාලයේ ක්‍රියාත්මක වූ සීමාවන් සම්පූර්ණයෙන් ඉවත් කරන ලද්දේ පසුගිය වසරේ දෙසැම්බරයේ යි. මේ වනවිට ඇතිව තිබෙන රෝග ව්‍යාප්තිය මෙම සීමාවන් ඉවත් කිරීමත් සමග ඇති වූ තත්ත්වයක් විය හැකි බව ද නිලධාරීන් ප්‍රකාශ කර තිබිණි.

සෞඛ්‍යාරක්‍ෂක සීමාවන් ක්‍රියාත්මක වූ කාලයේ ජනතාව රෝග කාරක බැක්ටීරියා, වයිරස ආදියට නිරාවරණය නොවන නිසා සිරුරු තුළ ඒවාට එරෙහි ප්‍රතිශක්තිය හීන වෙයි. දැන් දකින්නට ඇති රෝග ව්‍යාප්තිය එහි ප්‍රතිඵලයක් විය හැකි බවක් ඇතැම් විශේෂඥයන් සඳහන් කර තිබිණි. මේ වනවිට පැතිරෙමින් ඇති ඇතැම් වයිරස සම්බන්ධයෙන් ද ජාතික සෞඛ්‍ය කොමිසම සඳහන් කර ඇත. කොවිඩ් වයිරසය, මයිකොප්ලාස්මා නැමැති වයිරසය, ආර්.එස්.වී (Respiratory Syncytial Virus) නැමැති වයිරසය ඔවුන් නම් කර තිබිණි.

කෙසේ නමුත් පසුගිය ඉරිදා (19) වනවිට උතුරු චීනයේ ඇතැම් ප්‍රදේශවලින් නියුමෝනියා රෝගීන් පොකුරු වශයෙන් හමු වී ඇති බවක් ප්‍රෝමෙඩ් (ProMED) නැමැති සංවිධානය වාර්තා කර තිබිණි. චීනයේ වූහාන් නගරය ආසන්නයේ අබිරහස් රෝගයක් පැතිරෙමින් ඇති බවක් 2019 වසරේ අගභාගයේ මුලින්ම ලෝක අවධානයට ලක් කළ පාර්ශ්ව අතර මෙම ප්‍රෝමෙඩ් ආයතනය ද විය. පසුව කොවිඩ් ලෙස නම් කෙරුණේ එය යි. කෙසේ හෝ වේවා, මෙම ආයතනය පසුගිය ඉරිදා සඳහන් කළ නියුමෝනියා රෝගීන් සහ සති කිහිපයකට පෙර ජාතික සෞඛ්‍ය කොමිසම සඳහන් කළ වයිරස අතර සම්බන්ධයක් තිබේ ද, නැතිනම් මෙය වෙනත් අලුත් රෝග කාරකයක් ද යන්න සම්බන්ධයෙන් යම් අපැහැදිලිතාවක් තිබූ බව පෙනේ. ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ පිලිබඳ තොරතුරු ඉල්ලා තිබුණේ මෙම තත්ත්වය තුළ ය. නියුමෝනියාව යනු පෙනහළුවල ඇති වන ආසාදනයක් හෝ ප්‍රදාහයක් ලෙස හැඳින්විය හැක්කකි. බැක්ටීරියා, වයිරස හෝ දිලීර නිසා නියුමෝනියාව වැළඳීමට හැකියාව තිබේ.

කෙසේ හෝ වේවා, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කරන ලද ඉල්ලීමට චීන සෞඛ්‍ය බලධාරීන් ප්‍රතිචාරයක් දක්වා තිබිණි. ඔවුන් පවසා ඇත්තේ උතුරු චීනයේ පැතිරෙන නියුමෝනියාවට හේතු වූ ආසාමාන්‍ය හෝ නව රෝග කාරකයක් සොයාගෙන නොමැති බවයි. නමුත් වසර කිහිපයකට පෙර කොවිඩ් පැතිරෙන්නට පටන් ගත් අවස්ථාවේ චීනය එම තත්ත්වය වසන් කිරීමට උත්සාහ ගත් බවට පැතිරුණු මතය නිසා චීනය කරන ප්‍රකාශ ගැන බොහෝ පාර්ශ්ව තුළ ඒ හැටි විශ්වාසයක් නැති බව ද රහසක් නොවේ. එම තත්ත්වය තුළ ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධාන මෙම නියුමෝනියා ව්‍යාප්තිය ගැන දැඩි අවධානයකින් සිටිනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය. “අප මෙම තත්ත්වය පිලිබඳ දැඩි නිරීක්‍ෂණයකින් පසුවෙනවා. ඒ වගේම චීනයේ සෞඛ්‍ය අංශ සමග සමීප සබඳතා පවත්වමින් සිටිනවා” ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන් කර තිබිණි. චීනයේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බවක් එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්‍ෂක ඒජන්සිය ද සඳහන් කර තිබේ.

චීනයේ මේ දිනවල පැතිරෙන්නේ අලුත් රෝග කාරකයක් නොවුණ ද එය පැරණි වයිරසයක නව ප්‍රභේදයක් වන්නට වුවද පිලිවන් බවක් ඇතැම් විශේෂඥයන් පවසා තිබෙනු දැකිය හැකි විය. එවැන්නක් පැතිරෙන්නට පටන් ගතහොත් එය ජාත්‍යන්තර වශයෙන් ද යම් අවදානමක් එල්ල කළ හැකි බව අමුතුවෙන් කිව යුතු නොවේ.

කෙසේ හෝ වේවා, රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහා නිසි සෞඛ්‍ය ආරක්‍ෂක ක්‍රම අනුගමනය කරන්නැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය චීන වැසියන්ගෙන් ඉල්ලා තිබේ. එන්නත්වල බූස්ටර් මාත්‍රා ලබා ගැනීම, රෝගීන්ගෙන් දුරස්ව සිටීම, රෝගයක් ඇත්නම් නිවසට වී සිටීම, මුහණු ආවරණ පැළඳීම, නිතර අත් සේදීම, රෝගී අවස්ථාවල නිසි වෛද්‍ය පරීක්‍ෂණ සිදු කර ගැනීම වැනි පියවර ගන්නා මෙන් ඔවුන් දැනුම් දී ඇත.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර