බුද්ධි ගලනය මුල් කොට ගත් නූතන කවියකු ගේ ප්‍රතිභා ගලනයක්

බුද්ධි ගලනය ඒ කියන්නේ උගතුන් රට හැර යාම මේ වන විට බරපතල සමාජ ඛේදවාචකයක්.ඒ සම්බන්ධයෙන් එක් එක් පාර්ශවයන්ට චෝදනා එල්ල කර ගැනීම් වලිනුත් අඩුවක් නෑ.නමුත් තමන්ගේ සිරුරේ ලේ කිරි කර පෙවූ මවකටත් නොවිඳිනා දහ දුක් විඳි පියෙකුටත් තමන්ගේ දරුවකු බුද්ධි ගලන රැල්ල ඔස්සේ මෙතෙරින් එතෙරට ගසා ගෙන යාම කොහොම නම් දැනෙනවා ඇද්ද?මේ ඒ පිළිබඳව මානව දයාවෙන් සපිරි කවි හදවතකින් ජනිත වුණු අව්‍යාජ සිතුවිල්ලක්.මේ අද්දැකීමට මුහුණ දෙන මාපිය දෙපල ගේ භාවාතිශය හැඟීම් ඒ හා සබැඳුණු පාරිසරික සාධක ද සමඟ එක් කොට දැක්වීම මේ කවියාගේ ප්‍රතිභා ශක්තිය මනාව විදහා දක්වන්නක් බවට සැක නැහැ. “මනුස්සයෙක්ගේ ඇතුළට යන හැම දෙයක්ම මොන විදිහෙන් හරි එළියට එනවලු. හුස්ම, කන බොන දේවල් විතරක් නෙවේ. අපි අහන දකින දේවල් වලටත් මේක අදාලයි. යහපතක් නැතත්, අඩු ගාණේ තමන්ට හෝ අනුන්ට අයහපතක් නොවන විදිහට ඔය වැඩේ කරගන්න මම තෝරාගෙන තියෙන මාධ්‍යය තමා කවිය.හිතේ තියෙන ගලක්, ගලක් විදිහටම පේන්න හෝ මලක් විදිහට පේන්න සායම් කරලා කවියෙන් එළියට දාන්න පුළුවන්. ඒ කොහොම වෙතත් ඒක සායම් කරලා බව පාඨකයා මතක තියා ගන්න ඕනෙ. මගේ කවිය තුළින් මා නොදකින්න කියලා සේකර කීවේ ඒකයි. කවියක් නිර්මාණය වන අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමා කවියා ඒක ලියද්දි. අනික තමයි පාඨකයා ඒ කවිය තමන්ගේ පරිකල්පනය හා අත්දැකීම් එක්ක බද්ධ කරලා කියවද්දි. කවියා කියන්නෙ සමාජයක හෘද සාක්ෂිය ලු. ඉතින් මට කවියෙක් වෙන්න හැකියාවක් හෝ උත්සාහයක් නෑ. ආසාවට කවි ලියන කෙනෙක් විදිහට මගේ මුල් කවි පොත වන ”නොපෙනෙන ජීවිත” කාව්‍ය සංග්‍රහයට නිර්මාණශීලී නවක දායකත්වය වෙනුවෙන් ගොඩගේ සම සම්මානයක් ලැබුණා. ඊළඟට ලීව The Red Jasmine හා සඳේ හීයෙන් ගඟේ ගීයෙන් ඉංග්‍රීසි හා සිංහල කවි පොත් දෙක ගොඩගේ ජාතික අත්පිටපත් තරඟයේ අවසන් වටයට තේරිලා මුද්‍රණයට සුදුසුකම් ලැබුවා “ඒ රජීව දසනායක කවියාගේ හඬ. වත්මන් සමාජමය අර්බුදයක් මුල් කර ගෙන මේ තරම් සංවේදී කාව්‍යමය විග්‍රහයක් කළ හැකි කවියකුගේ පුද්ගල,සමාජ තරාතිරම දැන ගැනීමට රසික ඔබගේ සිත් තුළ ස්වාභාවික උනන්දුවක් ඇති වන බවත් අපි හොඳාකාරවම දන්නා නිසා මේ කවියා ගැනත් වචන කීපයක විස්තරයක් කරන්නම්.රජීව දිසානායක කවියා වෘත්තියෙන් වෛද්‍ය වරයෙක්.ඒ වගේම ඔහු සාමාන්‍ය වෛද්‍ය වරයකුත් නොවෙයි.වෘක්තවේද;ඒ කියන්නේ වකුගඩු රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය වරයෙක්.

අපට නම්;

කඩාගෙන වහිනකොට රෑ තවත් කළුවරයි

අතේ සුක්කානමත් මහාමෙර ලෙස බරයි

පුතේ ඔය ඉගිල්ලෙන ඉසව්වට හරි දුරයි

අදින් අපෙ රියේ ගිය සවාරිය කෙළවරයි

 

ළමා විය ළපටි හැව ගැලවිලා ගොඩක් උස්

වෙවී ගොළු වෙලා ගියෙ අපේ පොඩි කතා බස්

සදා දොර වසාගෙන උන්නු කාමරේ හිස්

වෙලා දැක තෙමෙයි හෙට උදේ නංගිගේ ඇස්

 

ලොවේ තරගයෙන් ජය ලබා එන විට ළමයි

දෙමාපිය හිතේ එක තැනක් හරි උණුහුමයි

හිතා බැලු වොතින් ඒ වුනත් අම්මයි මමයි

වැරදිලා පැරදිලා ආ දිනෙත් එහෙමමයි

 

වැටුණු තැන නැගිටලා අරමුණක හිත යොමා

මග හදාගෙන පුතා තවත් කුමටද පමා

කළුවරේ වහිනවා ගස් කොලන් තෙම තෙමා

අපට නම් ඇත්තටම රෑ උනේ අද තමා

 

අහන්නට සවන් නැති වදන් ඔවදන් හලා

පලක් නැහැ ඔයා දැන උගත් මිනිහෙක් වෙලා

වෙලාවට ගුවන්තොටුපොලට අද ඇරලලා

ඔන්න අපි අවසාන යුතුකමත් ඉටු කළා

 

රජීව දිසානායක

wall එක