මේ දිනවල පවතින අධික උණුසුම නොතකා හිඳීමෙන් ජීවිතාවදානමක්!

vinivida

අද දිනයේ පැවතිය හැකි උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවධානයෙන් පසුවන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයට අනුව උතුර, උතුරුමැද වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් උෂ්ණත්වය සිරුරට ඉතා තදින් දැනෙන ‘වැඩි අවධානය යොමු කළ යුතු’ මට්ටමක පවතින බව එම නිවේදනයේ සඳහන් වේ. එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ දකුණ යන පළාත්වල ඇතැම් ස්ථානවල උෂ්ණත්වය ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක පවතින බවත් එම නිවේදනය මගින් පවසා තිබේ. මේ දිනවල ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය උපරිම වශයෙන් සෙල්සියස් අංශක 37- 38 වැනි මට්ටම් දක්වා ඉහළ නැගිය හැකි නමුත් අප අසල්වැසි ඉන්දියාවේ තත්ත්වය එයට වඩා සහමුලින්ම වෙනස්ය. එහි ඇතැම් පළාත්වල මේ දිනවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 41 – 42 වැනි මට්ටම්වල පවතින අවස්ථා තිබේ. මේ අධික උෂ්ණත්වය නිසා ඇති වන ‘තාප ආඝාත’ (heat stroke) තත්ත්වය හේතුවෙන් පසුගිය අප්‍රේල් 28 වැනිදා කේරළයේ වයස්ගත කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වී තිබේ. 2023 වසරේ දී කේරළයේ තාප ආඝාත තත්ත්වය නිසා 120 දෙනෙකු මියගොස් තිබේ. ශ්‍රී ලංකාවට තාප ආඝාත තත්ත්වයක් ඇති වීමේ හැකියාව අවම මට්ටමක පැවතියත් දිනෙන් දින ඉහළ නගින ගෝලීය උෂ්ණත්වය නිසා මෙවැනි තත්ත්වයක් අපේ රටේ ද ඇති විය හැකිය. මේ නිසා අධික උෂ්ණත්වයත් ඒ නිසාම පැන නගින තාප ආඝාත පිළිබඳ දැන සිටීම ප්‍රයෝජනවත් වනු ඇත.

තාප ආඝාත තත්ත්වයක් ඇති වන්නට හේතු වන ප්‍රධාන කාලගුණික තත්ත්වයක් පවතී. එය හඳුන්වනු ලබන්නේ ‘තාප තරංග’ (heat waves) නමිනි. තාප තරංගයක් යනු අසාමාන්‍ය අධික උණුසුමක් පවතින සමයක් ලෙස නිර්වචනය කොට තිබේ. මැදපෙරදිග කලාපය ඔස්සේ ඇදී එන උණුසුම් වායු ධාරාවන් වෙනත් රටවල් තුළට ඇතුළු වීම නිසා තාප තරංග තත්ත්වයක් ඇති වේ. ශ්‍රී ලංකාව දූපතක් නිසා විශාල ගොඩ බිම් කලාප ඔස්සේ ඇදී එන තාප තරංගවල තර්ජනයට මුහුණ දෙන්නට ඇති ඉඩකඩ අඩුය.

තාප තරංගයක් යම් ප්‍රදේශයක් කරා ඇදී එන බව දැනගන්නට කිසිදු භෞතික සාධකයක් නොමැති වීම මෙහි ඇති ඉතා භයානක තත්ත්වයකි. සුළි සුළඟක්, ගං වතුරක් ආදිය ඇති වන්නට පෙර අපට දක්නට ලැබෙන භෞතික සිදුවීම් නිසා එය අවබෝධ කර ගත හැකිය. කෙමෙන් කෙමෙන් උෂ්ණත්වය වැඩි වුව ද බොහෝ විට එය අධික උණුසුම් කාලගුණ තත්ත්වයකැයි සිතනවා මිසක එයින් ඔබ්බට ඇති විය හැකි අවදානමක් පිළිබඳ කල්පනා කරන්නේ නැත. නමුත් හදිසියේ සෙල්සියස් අංශක 40 ක පමණ උෂ්ණත්වයකින් යුක්ත තාප තරංගයක් පැමිණියහොත් එයට ගොදුරුවන බොහෝ දෙනෙකු ජීවිත අවදානම්වලට ලක් විය හැකිය. විශේෂයෙන් එළිමහනේ වැඩකටයුතු කරන පුද්ගලයන් මෙහි දැඩි අවදානමට ලක්ව තිබේ.

හිස කැක්කුම, ඔක්කාරය, හිස බර ගතිය, ශරීරය අප්‍රාණික ස්වභාවය, නොඉසිලිමත් බව, අධික පිපාසය, අධික ලෙස දහදිය දැමීම, අධික ශරීර උෂ්ණත්වය, මූත්‍ර පිටවීම අඩු වීම මෙහි ඇති රෝග ලක්ෂණ ලෙස සඳහන් කළ හැකිය. ඇතැම් විට අප රටේ තාප තරංග තත්ත්වයකට මුහුණ නොදුන්න ද යම් කිසි පුද්ගලයෙක් වැඩි වේලාවක් උණුසුම් එළිමහනක යම්කිසි කටයුත්තක නිරත වුවහොත් තාප ආඝාත තත්ත්වයකට ගොදුරු වන්නට ඉඩ තිබේ. එවැනි තත්ත්වයක් දුටු වහාම කළ යුත්තේ හදිසි ගිලන් රථ සේවය අමතා අදාළ පුද්ගලයා රෝහල් ගත කිරීමට කටයුතු කිරීමය.

‘තාප ආඝාත’ තත්ත්වය ඇති වන්නේ මෙසේ තාප තරංගවලට ගොදුරු වීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. සාමාන්‍යයෙන් අප උණුසුම් වටපිටාවක සිටිය දී ශරීරය දහදිය පිට කිරීම තුළින් සිරුරේ උෂ්ණත්වය පහළ දැමීම සඳහා කටයුතු කරයි. නමුත් එක්තරා උෂ්ණත්ව මට්ටමක දී මෙය සිදු කරන්නට සිරුරට ඇති හැකියාව නොමැති වී යයි. එවිට සිරුරට තවදුරටත් උෂ්ණත්වය පාලනය කර ගත නොහැකිය. මිනිත්තු 10 – 15 ක් පමණ කෙටි කාලයක් තුළ දී සිරුරේ උෂ්ණත්වය ඉහළ නගින අතර ක්ෂණිකව ප්‍රතිකාර ලබා දෙන්නට නොහැකි වුවහොත් අදාළ පුද්ගලයා නිත්‍ය දුබල තත්වයකට හෝ මරණයට පත්වීම පවා හෝ සිදු විය හැකිය.

වැඩිහිටියන්, අධික රුධිර පීඩනය ඇති පුද්ගලයන් සහ එළිමහනේ වැඩකටයුතු කරන පුද්ගලයන් මෙවැනි තත්ත්වයකට ගොදුරු වීමේ වැඩි හැකියාවක් පවතී. ව්‍යාකුල බව, මානසික තත්ත්වය වෙනස් වීම, කතාබහ ගොත ගැහෙන සුළු බව, සිහි සුන් බව, උණුසුම්, වියළි සම, දහදිය දැමීමක් නොමැති වීම, අධික ශාරීරික උෂ්ණත්වය වැනි රෝග ලක්ෂණ තාප ආඝාත තත්ත්වයක දී ඇති විය හැකිය.

මේ දිනවල හැකි තාක් ජලය පානය කිරීම මේ අධික උෂ්ණත්වය නිසා ඇති විය හැකි ශාරීරික ගැටලුවලින් මිදීමට ඇති හොඳම පියවර බව වෛද්‍ය අවවාදයයි. එමෙන්ම දහදිය සමග සිරුරේ ඇති ලවණ ද බැහැර වන බැවින් ආහාරවලට ලුණු මිශ්‍ර කිරීම සුපුරුදු පරිදි සිදු කිරීම කළ යුතු බව ද සිහි තබා ගත යුතුය. එමෙන්ම එළිමහනේ වාහන නවතා, දරුවන් එහි තබා කඩ සාප්පුවලට යාම වැනි පුරුදු වැඩිහිටියන් නොකළ යුතු බව දැනුම් දී තිබේ. මෙය බොහෝ විට මාරාන්තික තත්ත්වයක් ඇති කළ හැකිය.

හිස කැක්කුම, ඔක්කාරය, හිස බර ගතිය, ශරීරය අප්‍රාණික ස්වභාවය, නොඉසිලිමත් බව, අධික පිපාසය, අධික ලෙස දහදිය දැමීම, අධික ශරීර උෂ්ණත්වය, මූත්‍ර පිටවීම අඩු වීම මෙහි ඇති රෝග ලක්ෂණ ලෙස සඳහන් කළ හැකිය. ඇතැම් විට අප රටේ තාප තරංග තත්ත්වයකට මුහුණ නොදුන්න ද යම් කිසි පුද්ගලයෙක් වැඩි වේලාවක් උණුසුම් එළිමහනක යම්කිසි කටයුත්තක නිරත වුවහොත් තාප ආඝාත තත්ත්වයකට ගොදුරු වන්නට ඉඩ තිබේ. එවැනි තත්ත්වයක් දුටු වහාම කළ යුත්තේ හදිසි ගිලන් රථ සේවය අමතා අදාළ පුද්ගලයා රෝහල් ගත කිරීමට කටයුතු කිරීමය. ඒ අතරතුර අදාළ පුද්ගලයා සිසිල් ස්ථානයට රැගෙන යාම, අනවශ්‍ය ඇඳුම් ඉවත් කිරීම, ජලය පානය කරන්නට ඉඩ සලසා දීම, හිස, ගෙල, මුහුණ ආදී ප්‍රදේශ සිසිල් ජලයෙන් සේදීම වැනි දේ සිදු කළ හැකිය.

මේ දිනවල හැකි තාක් ජලය පානය කිරීම මේ අධික උෂ්ණත්වය නිසා ඇති විය හැකි ශාරීරික ගැටලුවලින් මිදීමට ඇති හොඳම පියවර බව වෛද්‍ය අවවාදයයි. එමෙන්ම දහදිය සමග සිරුරේ ඇති ලවණ ද බැහැර වන බැවින් ආහාරවලට ලුණු මිශ්‍ර කිරීම සුපුරුදු පරිදි සිදු කිරීම කළ යුතු බව ද සිහි තබා ගත යුතුය. එමෙන්ම එළිමහනේ වාහන නවතා, දරුවන් එහි තබා කඩ සාප්පුවලට යාම වැනි පුරුදු වැඩිහිටියන් නොකළ යුතු බව දැනුම් දී තිබේ. මෙය බොහෝ විට මාරාන්තික තත්ත්වයක් ඇති කළ හැකිය. දරුවන්, වැඩිහිටියන් ඇති සියලු දෙනා එළිමහනේ විවිධ ක්‍රියාකාරකම්වල යෙදීම අඩු කළ යුතු බවත් සඳහන් කළ යුතුය.

බොහෝ විට ඊළඟ මෝසම් වර්ෂා සමය උදාවන තුරු මේ තත්ත්වය පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම මේ මේ දිනවල සිසිල් වායු තරංග රට තුළට ඇදීම ඒම ද සිදු නොවීම අප රට තුළ මේ උණුසුම් තත්ත්වය තීව්‍ර කරන්නට හේතු වී තිබෙන බවත් එම දෙපාර්තමේන්තුව පවසයි. මේ තත්ත්වය යටතේ අප මේ පිළිබඳ මනා අවධානයෙන් සහ දැනුවත්ව සිටීම ඉතා සුදුසු ය. සිදුවිය හැකි අවදානම් සත්ත්වයන්ගෙන් ගැලවී සිටින්නට හැකියාව ලැබෙන්නේ එවිටය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර