අපි යාලුවෝ කියන්නේ නිවැරදි පුද්ගලයන්ටම ද?

vinivida

ඔබට යාළුවො ඉන්නවද?
මං හිතන්නේ හැම කෙනෙකුටම එක යාළුවෙක් හරි ඉන්නවා. යාලුවෝ නැති කෙනෙක් නැති තරම්.
හැබැයි ඉතින් යාළුවො කිව්වම ඇත්තටම අපි කාටද මේ යාළුවො කියන්නෙ කියලා ඔබ ටිකක් හිතලා බැලුවද?
ඉස්කෝලේ ගිය ළමා කාලේ යාලුවෝ ගැන පුංචි කතාවක් කතන්දර පොතක තිබුනා මතකයිි. ඔබත් අහල ඇති.
දවසක් යාලුවෝ දෙන්නෙක් කැලයක් මැදින් ගමනක් යනකොට වලහෙක් එනවා දැක්කා. කලබල වෙලා එක යාළුවෙක් කොහොම හරි දුවලා ගහකට නැග ගත්තා. අනිත් යාලුවට දුවගන්න බැරුව ගියා. ඔහුට කරන්න දෙයක් නැති කමට ඔහු එහෙමම මුනින් අතට බිම වැතිරුණ.
අර වලහා ඒ බිම වැතිරුණ යාළුවා ළඟට ඇවිත් ඉව කරල ටික වේලාවකින් යන්න ගියා. හොඳ වෙලාවට ඔහුට කිසි අනතුරක් කළේ නැහැ.. වලහා ගියාට පස්සේ ගහ උඩ හිටපු අනිත් යාලුවා බැහැල ඇවිල්ල අනිත් මිතුරාගෙන් ඇහැව්වා “අර වලහා උඹේ කනට කරලා මොනවද කිව්වේ?” කියලා.
එතකොට අර යාලුවා පිළිතුරු දුන්නා “කරදරයකදී දාල දුවන උඹල වගේ යාළුවන්ව ආශ්‍රය කරන්ඩ එපා කියලා කිව්වේ” කියලා.
අදහස පැහැදිලියිනේ.
වර්තමානයේ දී බොහෝ වෙලාවට ඒ විදිහට වලස්සු අපිට හම්බවෙන්නෙ නෑ. ඒත් කරදරයකදී, අමාරු අවස්ථාවකදී අපෙන් බේරිලා පැනලා යන යාළුවො නං අපිට අනන්තවත් අද සමාජයේ මුණගැහෙන්න පුළුවන්.
සමහරවිට ඔබටත් එහෙම සිද්ධ වෙලා ඇති , නේද ?
ඇත්තටම අපි යාළුවෝ කියලා ආශ්‍රය කළාට අපට කරදරයක් වෙච්ච වෙලාවක හිමිහිට ඇඟ බේරගෙන පැනලා යන අයට අපි යාළුවෝ කියලා කතා කරන එක හරිද ?
ඇත්තටම කාටද හොඳ යාලුවෙක් කියලා අපි කියන්නේ? කියන්න ඕනේ?
හොද යාලුවෙක් කියන්නේ පවුලේ කෙනෙක් වගේ කෙනෙක්.
පවුලෙ අය යාළුවෝ වගේ ඉන්නවනම් ඒක හොඳ පවුලක් .
යාළුවො පවුලේ අය වගේ ඉන්නවනම් ඒ හොඳ යාළුවො .


හැබැයි ඉතින් යාළුවො වගේ ඉන්නවා තියා කිසිම සහයෝගයක් නැති, එකාට එකා මරාගන්න තරමේ පවුල් සමාජිකයින් ඉන්න පවුලුත් නැත්තේ නෑ.
ඒ වගේම පවුලේ යාළුවෙක් වගේ ළඟටම වෙලා ඉඳගෙන අඟේ ඉඳන් කන කපටි යාලුවොත් නැත්තෙමත් නෑ.
ඒ හින්දා යාලුවෝ කියන ලේබල් එක අපි ආශ්‍රය කරන හැමෝටම සුදුසු ලේබල් එකක් නෙවෙන්න පුළුවන්.නේද?
ඉතින් ඇත්තටම අපේ යාළුවෙක් කියන්නෙ කවුද කියල ටිකක් හිතලා බලන එක හොඳයි නේද?
මේ යාළුවො ගැන කතා කරද්දි අපිට මුහුණ දෙන්න වෙන විශාලතම අපහසුතාවය තමයි හරි යාළුවෙකුව තේරුම් ගන්න ලේසි නැති එක.
හරි අමාරුයි මිනිසුන්ව තේරුම් ගන්න. කාල බලන්න බෑනේ. අපිට සමහර මිනිසුන්ව තේරුම් ගන්න සෑහෙන කාලයක් යනවා. සමහර මිනිසුන්ව කවදාවත් තේරුම් ගන්නම බැහැ.
නැවක් පරීක්ෂා කරලා බලන්න පුළුවන් වෙන්නේ වරායේ සුරක්ෂිතව නවත්වල තියෙනකොට නෙමේ. ප්‍රචණ්ඩ මුහුදේ යාත්‍රාකරද්දි.
ඒ වගේ බොහෝ විට අපිට කෙනෙකුව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ හැමදේම හොඳින් සිද්ධ වෙන, සතුටින් ඉන්න වෙලාවක නෙමෙයි. ඇත්තටම අපිට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදුවුනු වෙලාවක. අපි ආශ්‍රය කරන අපි ළඟ දැවටි ඉන්න බොහෝ දෙනෙක් ඇත්තටම හොඳ යාලුවෝ නෙමෙයි.
බලාගෙන ගියාම අපෙන් ප්‍රයෝජන අරගෙන අපෙන් කාලා බීලා අපෙන් යැපිලා අපිටම වින කරල අපිව අසරණ කරලා පැන යන මිනිස්සුත් ඕන තරම් මේ ලෝකේ ඉන්නවා. ඒත් එහෙම බොහෝ දෙනෙකුව අපි තේරුම් ගන්න කොට පමා වෙලා වැඩියි.
ඒ හින්දා ඇත්තටම අපි යාලුවෝ කියන්නේ කාටද කියලා හිතලා බලලා හොද යාළුවොම විතරක් ආශ්‍රය කරන එක අපෙත් ඒගොල්ලන්ගේත් සුභ සිද්ධියටත් අපි ජීවත් වෙන මේ ලෝකෙ යහපත් පැවැත්මටත් හරිම අවශ්‍ය දෙයක්.
ඇත්තටම හොඳ යාලුවෙක්ගෙ ගුණාංග මේ වගේ කෙටි ලිපියකින් සාකච්ඡා කරන්න බැහැ. ඒත් හොඳ යාලුවෙක් තුළ තියෙන්නම ඕන ගුණාංග කිහිපයක්වත් ඉතාම කෙටියෙන් එක වාක්‍යයකින් කියන්න බලන්නම්.
හැබැයි අදහස් කෙටි වුණාට වාක්‍ය නම් ටිකක් දික් වෙන්න පුළුවන් …


හොඳම යාළුවෙක් කියන්නේ…
ඔබෙන් උදව් හෝ යම් දේවල් ගන්න නොව ඔබට දෙන්න උනන්දු වෙන…
සතුටින් ඉන්න වෙලාවට වඩා දුකෙන් අසහනෙන් ඉන්න වෙලාවක ඔබට කිට්ටුවෙන් ඉන්න හදන… ,
ඔබේ සිනහවට වඩා ඔබේ කඳුළු හොඳින් හඳුනන …
මහ රෑ හරි දුරකථන ඇමතුමක් දුන්නොත් අවලාද නොකියා කතා කරන…,
උදව්වක් අවශ්‍ය ඕනෑම වෙලාවක දුර බැහැර අව්ව වැස්ස නොතකා දුවගෙන එන…, කිසිම දෙයක් හිතේ තද කරගෙන ඉන්නෙ නැතුව හංගන්නෙ නැතුව බය නැතුව කියන්න තරම් විශ්වාස කරන්න පුළුවන්…,
අපේ ප්‍රශ්න වාෂ්ප වගේ නොපෙනී යන්න උදව් කරන්න බැරි උනත්, අපේ ප්‍රශ්නවලදී වාෂ්ප වගේ නොපෙනී යන්නේ නැතුව අපි ළඟින්ම ඉන්න…,
ඔබේ වචන වලට වඩා ඔබේ නිහඬතාවය තේරුම් ගැනීමට හැකියාව ඇති…,
ඔබේ ගෙදර යතුරු භාර දීලා යන්න තරම් විශ්වාසවන්ත…,
ඔබ තුළ ඇති දක්ෂකම් වැඩිදියුණු කරගන්න උපදෙස් දෙන, උනන්දු කරන…,
ඔබේ වැරදි තැනින් තැන නොකියා ඔබේ මූණටම කියන…,
ඔබට තරහ ගිහින් මූනටම බැන්නත් ඒක තුට්ටුවකට ගණන් නොගන්න …,
ඔබේ දක්ෂතා වගේම ඔබේ දුර්වලකම් හොඳින් හඳුනාගෙන දුර්වලකම් හදාගන්න උදව් කරන…,
අත මිට සරු වෙලාවට විතරක් ඔබත් එක්ක දැවටි දැවටි ඉඳලා, ඔබට මිල මුදල් අග හිඟකම් ඇති වෙලාවට ඔබෙන් ඈත් නොවී, හැකිනම් අවශ්‍ය නම් ඔබට උදව් කරන…
ඔබ ගැන අනුන් කියන කේලම් තුට්ටුවකට ගණන් නොගෙන ඔබ සමඟ සත්‍යය තහවුරු කරගන්නට උත්සාහ කරන…
කිසිම අවස්ථාවක අල්පෙනෙති තුඩක තරමවත් වංචාවක් බොරුවක් කිරීමට හිතන්නෙවත් නැති…
මත්පැන් වැනි අයහපත් පුරුදු වලින් සහ අයහපත් මිනිසුන්ගෙන් ඔබව බේරා ගැනීමට උනන්දු වෙන…
ඔහුගේ හෝ ඇයගේ මතකය පවා ඔබට සතුටක් සැනසීමක් ගෙන දෙන …,
අවංක ආදරණීය පුද්ගලයෙකුට.!
වාක්‍යය ටිකක් දිගයි නේද?
ඒ උනාට ඇත්තටම අවංක යාළුවෙක් නම් ඔය ගතිගුණ තියෙන්නම ඕනා.
හිතලා බලන්න ඔබ ඇසුරු කරන අයට ඔය ගතිගුණ තියෙනවද කියලා? එහෙම නැත්නම් ඒගොල්ලෝ තමන්ගේ වාසියට විතරක් ඔබව ආශ්‍රය කරන, ඔබ ගැන ඒ තරම් උනන්දුවක් නොදක්වන, අති ජාත මිත්‍රයෙක් කියන ලේබලය දැරීමට නොසුදුසු පුද්ගලයෙක් වෙන්න පුළුවන්.
ඒ නිසා ඔය ඉහත කරුණු ටික ඔස්සේ හිතලා බලලා ඇත්තටම ඔබ යාලුවෙක් කියලා කියන්නේ සුදුසු පුද්ගලයෙකුටද කියලා තීරණය කරන්න.
ඒ වගේම ඔබත් කෙනෙකුගේ යාළුවෙක් කියලා හිතනවා නම් ඔබටත් ඒ ගතිගුණ යාළුවා වෙනුවෙන් තියෙනවද කියලා හිතලා බලන්න.
කෙනෙකුගෙන් මිත්‍රකමක් බලාපොරොත්තු වෙනවා නම් අපිත් පෙරළා ඒ වගේ මිත්‍රකමක් ඔහුට හෝ ඇයට දිය යුතුයි. සැබෑ අන්යෝන්‍ය මිතුදමක් ගොඩනැගෙන්නේ එහෙමයි. එහෙම නැතුව එක්කෙනෙක් හොඳ යාළුවෙක් වෙලා ඉන්නකොට අනිත් පුද්ගලයා ඔහු ගෙන් හෝ ඇයගෙන් ප්‍රයෝජන ගැනීම සඳහා ආශ්‍රය කරනවා නම් එතන තියෙන්නේ වංචාවක් මිසක් මිත්‍රකමක් නෙමේ.
ඒ හින්දා ඔබ කල්පනාකාරීව ඔබේ නියම මිතුරන් තෝරාගන්න. ඒ වගේ ඔබත් අවංක හොඳ මිතුරෙක් මිතුරියක් වීමට වග බලා ගන්න.

මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

ඉරා අදුරුපට