දළදා කරඬුව මාරු කිරීමෙන් දියවඩන නිලමේ බරපතල ලෙස විශ්වාසය කඩ කරලා?- සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති


දළදා වහන්සේ වැඩ සිටින කරඬුවට පිටතින් ඇති මහ කරඬුව මාරු කළා ය යන ආරංචිය රට කලඹවන ප්‍රශ්නයක් වෙමින් තිබෙනු දැකිය හැකි ය. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා වහන්සේ තැන්පත් කෙරුණේ ක්‍රිස්තු වර්ෂ 1600 දී පමණ බව පෙනේ. ඒ පළමු වන විමලධර්මසූරිය රජු සමයේ ය. ජන්මයෙන් රාජවංශිකයෙකු නොවූ ඔහුට ශ්‍රී ලංකාව පාලනය කිරීමේ අයිතිය තහවුරු කර ගැනීමට දළදා වහන්සේ තම භාරයට පත්වීම අනිවාර්යයෙන් ම මහෝපකාරී වන්නට ඇත. දළදා වහන්සේගේ භාරකාරිත්වය ශ්‍රී ලංකාවේ සැලකුණේ රාජ්‍ය උරුමයේ සංකේතය ලෙස ය. දළදා වහන්සේ ශ්‍රී ලංකා රාජ්‍යයේ භාරයට පත් වන්නේ ක්‍රිස්තු වර්ෂ 360 දී සිරිමේඝවණ්ණ රජ සමයේ දී ය. එතැන් පටන් අනුරාධපුරය, පොලොන්නරුව, රුහුණේ උඳුන්දොර, දඹදෙණිය, කුරුණෑගල, ගම්පොළ, කෝට්ටේ, සීතාවක ආදී ස්ථානවල රජකම් කළ රජවරුන්ගේ පුදසත්කාර මධ්‍යයේ ආරක්ෂිතව පැවති ශ්‍රී දළදා වහන්සේ මෙසේ මහනුවර රාජධානිය භාරයට පත් විය. මෙසේ පළමු විමලධර්මසූරිය රජුගේ භාරකාරිත්වයට දළදාව පත්වීමෙන් පසු දළදා මන්දිරයක් කරවා එහි තැන්පත් කර මහත් සේ පුදසත්කාර පැවැත්වූ බව සඳහන් ය. අනතුරුව සෙනරත් රජු සිහසුනට පත් විය. ඒ රජු සමයේ දළදා වහන්සේගේ ආරක්ෂාව සඳහා මැද මහනුවරට වැඩම කර එහි විශේෂ දළදා මැදුරක් කරවා එහි තැන්පත් කළ බව මහා වංශයේ දැක්වේ. මේ කාලයේ බුරුමයේ විසූ මහාධම්ම යස රජතුමා ශ්‍රී ලංකාවෙන් දළදා වහන්සේ ලබාගත් බව බුරුම ඉතිහාසය පිළිබඳව ලියන ලේඛකයන් ඇතැමෙක් සඳහන් කළත්, දේශීය කිසිදු වාර්තාවකින් ඒ බව සනාථ නොවේ. සෙනරත් රජු මරණාසන්න අවස්ථාවේ දී සිය රාජධානිය කොටස් කර පුතුන් තිදෙනා අතර බෙදා දුන්නේ දළදා වහන්සේ අභිමුඛයේ දී බව වාර්තා වී ඇති හෙයින්, ඔහුගේ කාලය තුළ දළදාව වෙන රටකට භාරදීමක් කෙරී නැති බව සනාථ වේ. එසේ නම් බුරුම රජු ලබාගත්තේ දළදා අනුරුවක් වන්නට ඉඩ ඇත.

මීට පෙර ද එසේ දළදා අනුරුවක් කෝට්ටේ වීදියේ බණ්ඩාර සතුව තිබූ බව අනාවරණය වී ඇති නිසා ය. ක්‍රිස්තු වර්ෂ 1635 රජ පැමිණි දෙවන රාජසිංහ රජු ලන්දේසීන්ගේ සහය ඇතිව පෘතුගීසීන් නෙරපා මැද මහනුවර තිබූ දළදා වහන්සේ යළි මහනුවරට වැඩමවා දෙමහල් දළදා මැදුරක් කරවා එහි තැන්පත් කර ඇත. එමෙන්ම දෙවැනි රාජසිංහ රජු විසින් එතෙක් දන්ත කුමරුගේ පරපුරෙන් පැවත එන ගිහියන් විසින් සිදු කළ දළදාව වැඩමවීම එම පරපුරේ පැවිද්දෙකු විසින් කළ යුතු බවට වෙනස් කළ බව ද කියවේ. දෙවන රාජසිංහ රජුගෙන් පසුව ක්‍රිස්තු වර්ෂ 1687 රජ බවට පත්වුණු දෙවෙනි විමලධර්මසූරිය රජු දළදාව විෂයෙහි මහා සේවාවක් කළ බව ප්‍රකට ය. එතුමා තෙමහල් දළදා මැදුරක් කරවූ බවත්, රිදී විසිපන්දහසක් යොදාගෙන දළදාව තැන්පත් කිරීමට කරඬුවක් තනා එහි රන් ආලේප කර නවරත්නයෙන් සැරසූ බවත් සඳහන් ය. දෙවන විමලධර්මසූරිය රජුගෙන් පසුව 1707 දී රජ පැමිණි වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ නම් වූ අවසාන සිංහල රජු බලයට පත් විය. එතුමා පැරණි දළදා මැදුර ජරාජීර්ණව පැවති නිසා දෙමහල් නව දළදා මැදුරක් ඉදිකළ බව කියවේ. අනතුරුව 1739 දී පත්වන්නේ මෙරට ප්‍රථම නායක්කාර් වංශික රජු වූ ශ්‍රී විජය රාජසිංහ රජු යි. උපතින් හින්දු බැතිමතෙකු බව පැවසෙන ඔහු, රජ බවට පත් වූ පසු මහත් ගෞරවයෙන් දළදා වහන්සේ උදෙසා පුදපූජා පැවැත්වීම සිදු කළ බවත්, තම හස්තය මත තබා දළදා ප්‍රදර්ශනයක් පැවැත්වූ බවත් කියවේ. අනතුරුව රජවන කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා බුද්ධ ශාසනයේ අහිමිව ගොස් තිබුණු මෙරට උපසම්පදාව යළි ප්‍රතිෂ්ඨාපනය කරවා, දළදා වහන්සේ උදෙසා රන් දෙදහසකින් රන් කරඬුවක් කරවා මුදුනෙහි දියමන්තියක් ඔබ්බවා, තවත් දියමන්ති 160ක්, පුෂ්පරාග 171ක්, නිල් කැට 585ක්, රතු කැට 4880ක් සහ මුතු කැට 778කින් එම කරඬුව සරසා දළදාව එහි තැන්පත් කළ බව ද, එම අවස්ථාවේදීම දෙවන විමලධර්මසූරිය රජු කරවූ මහ කරඬුවේ රන් ආලේප කළ බව ද සඳහන් ය. කීර්ති ශ්‍රී රාජසිංහ රජු බෞද්ධ ශාසනයට දැවැන්ත සේවාවක් කළ රජෙකු ලෙස ඉතිහාසගත වී ඇත. එම කාලයේ 1765 දී ලන්දේසීන් මහනුවර ආක්‍රමණය කළ අවස්ථාවේ දී රජතුමා දළදා වහන්සේ ද රැගෙන හඟුරන්කෙතට පලා ගිය බව වාර්තා වෙයි. එහි වසරක පමණ කාලයක් රැඳී සිටි රජතුමා ලන්දේසීන් මහනුවර අතහැර ආපසු යාමෙන් පසුව යළි දළදා වහන්සේ මහනුවරට වැඩම කළහ. එසේ මහනුවර ආක්‍රමණය කළ වෑන් එක් නම් ලන්දේසි ආණ්ඩුකාරයා ආපසු යන විට දළදා මාලිගාවේ රන්සිවි ගෙයත් කරඬුවකුත් රැගෙන ගොස් ඇත. මෙසේ ගෙන ගොස් ඇත්තේ දෙවන විමලධර්මසූරිය රජු පූජා කළ මහ කරඬුව බව පැවසේ. මෙම කරඬුව 1766 දී පැල්ක් ආණ්ඩුකාරයා විසින් රජුට භාරදුන් නිසා දෙපාර්ශවය අතර යළි සමගියක් ඇති විය. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගෙන් පසු බලයට පත් රාජාධිරාජසිංහ සමය හා අනතුරුව බලයට පත් ශ්‍රී වික්‍රම රාජසිංහ සමය අවුල් වියවුල්, අභ්‍යන්තර මතභේදයන්ගෙන් ගහණ කාලයක් විය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සමයේ 1804 දී දළදා වහන්සේ ආරක්ෂාව සඳහා මහනුවරින් පිටතට වැඩම කළහ. යළිත් 1815 දී දළදාවත් සමඟ මහනුවරින් ඉවත් වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවට පත්වීමෙන් සිංහලේ රාජාවලිය නිමාවිය.

ඒ වන විට පුසුල්පිටිය රජමහා විහාරයේ තැන්පත් කර තිබූ දළදා වහන්සේ 1815 මාර්තු 25 දින මහනුවර දළදා මාලිගාවට වැඩම කරවන ලද්දේ ඉංග්‍රීසි රජයේ උඩරට පළාත් පාලනය කළ නියෝජිතයා වූ ශ්‍රීමත් ජෝන් ඩොයිලි බාට්ගේ අනුග්‍රහය යටතේ ය. දිගු කලක් තිස්සේ මෙරට රාජ්‍ය උරුමයේ සංකේතය වූ ශ්‍රී දළදා වහන්සේ ප්‍රථම වරට මෙරට තුළදීම විදේශීය පාලකයන්ගේ අයිතියට පත්වූයේ එසේ ය.

1815 සිට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා භාරයේ ශ්‍රී දළදා වහන්සේ මහනුවර දළදා මාලිගාවේ තැන්පත් කර තිබුණි. සිරිත් ලෙස මල්වතු අස්ගිරි උභය විහාරයන්හි භික්ෂූන් තේවා කටයුතු පැරණි චාරිත්‍රානුකූලව සිදු කළහ. 1818 වෙල්ලස්ස කැරැල්ල අවස්ථාවේ දී කැප්පෙටිපොළ දිසාව භික්ෂූන් වහන්සේලා මාර්ගයෙන් දළදාව රහසින් ඉවත් කරගෙන ගොස් හඟුරන්කෙතදී දළදා ප්‍රදර්ශනයක් ද පැවැත්වූ බව කියවේ. මෙහිදී මෙරට රාජ්‍ය පාලනයේ දී දළදා වහන්සේගේ අයිතිවාසිකමේ බලපෑම් දැන සිටි බ්‍රිතාන්‍ය පාලකයින්, හඟුරන්කෙතදී ප්‍රදර්ශනය කළේ ව්‍යාජ දළදාවක් බවත්, නියම දළදාව මහනුවර දළදා මැදුරේ ආරක්ෂිතව පවතින බවත් ප්‍රචාරය කර හැරියෝ ය. වෙල්ලස්ස අරගලය මර්දනය කිරීමෙන් පසුව භික්ෂූන් වහන්සේලා මාර්ගයෙන් ම දළදා වහන්සේ ආපසු වැඩම කරවා දළදා මාලිගාවේ තැන්පත් කිරීමට බ්‍රිතාන්‍ය පාලනය සමත් විය. බ්‍රිතාන්‍යයන් යටතේ 1828 දී දළදා ප්‍රදර්ශනයක් පැවැත්වූ බවත්, එය කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් සිදු කළ දළදා ප්‍රදර්ශනයෙන් පසුව මහනුවර දළදා මැදුරේ පැවැත්වූ ප්‍රථම දළදා ප්‍රදර්ශනය බවත් කියවේ. බ්‍රිතාන්‍ය පාලකයින් මේ ප්‍රදර්ශනයට උනන්දු වන්නට ඇත්තේ මෙරට රාජ්‍යත්වයේ සංකේතය වූ දළදා වහන්සේ තවදුරටත් තමන් භාරයේ පවතින බවත්, තමන් ඊට නිසි ගරුත්වයෙන් සලකනු ලබන බවත් මහජනයාට දැන ගැනීමට විය යුතු ය.

කෙසේ වුවද, ඇංග්ලිකන් ක්‍රිස්තියානීන් වන බ්‍රිතාන්‍යයන්, බෞද්ධයන්ගේ උතුම් පූජා වස්තුවකට රාජ්‍ය අනුග්‍රහයෙන් පුදපූජා පැවැත්වීම පිළිබඳව එංගලන්ත පල්ලියේ විවේචන ඔවුන්ට එල්ල වන්නට විය. මේ විවේචන උග්‍ර වීම නිසා දළදා වහන්සේගේ භාරකාරිත්වය දේශීය බෞද්ධයින්ට පැවරීමට බ්‍රිතාන්‍යයන් විසින් අදහස් කරන ලදී. ඒ අනුව 1846 අංක 2 දරණ ව්‍යවස්ථාව ප්‍රකාරව දළදාවත්, ඊට අයත් රන් ආභරණ හා අනෙකුත් දේපළ භාරකාරිත්වය සිංහල පක්ෂයට පවරා දීමට දියවඩන නිලමේගේ සභාපතිත්වයෙන් මල්වතු අස්ගිරි උභය විහාර භික්ෂූන් සයනමක්, මහනුවර සතර දේවාල බස්නායක නිලමේවරු හා සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ ද ඇතුළත් දොළොස් දෙනෙකුගෙන් යුත් සභාවක් පත් කරන ලදී. 1847 දී දළදා භාරකාරිත්වය මේ සභාව භාරයට පත් කළත්, 1848 මාතලේ කැරැල්ල නිසා යළිත් දළදාව බ්‍රිතාන්‍ය පාලනය යටතට පත් කෙරිණි. වෙල්ලස්සේ අරගලය මැඩපැවැත්වීමෙන් පසු 1853 දී දළදා භාරකාරිත්වය මල්වතු අස්ගිරි උභය පාර්ශව මහනා හිමියන් හා දියවඩන නිලමේ යන තිදෙනාට පවරා දීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ක්‍රියා කළේ ය. මෙහිදී දළදා තේවා කටයුතු රජ සමයේ සිට ම උභය විහාර නාහිමිවරුන් විසින් සිදු කළ නිසා උන්වහන්සේලා දළදා භාරකාරිත්වයට පත් කිරීම අලුත් දෙයක් නොවුණි. රජ සමයේ දළදා තේවාවට දිය සැපයීමේ කාර්ය භාරව සිටි දියවඩන නිලමේ ධුරයේ කාර්ය භාරය පුළුල් කර ඔහු දළදා වහන්සේගේ ගිහි භාරකාරිත්වයට පත් කිරීම සැබවින් ම විශාල වෙනසක් විය. 1815 සිට දියවඩන නිලමේ පත්වීම බ්‍රිතාන්‍ය පාලකයින් අතින් සිදු විය. 1876 සිට දියවඩන නිලමේවරයා පත් කිරීම සඳහා ඡන්ද ක්‍රමයක් සැකසුණු අතර, එය මුලින් ම මධ්‍යම පළාතේ දිස්ත්‍රික්කවල රටේ මහත්වරුන්ගේ ඡන්දයෙන් පත් කිරීම ඇරඹුණි. පසුව මේ ඡන්ද බලය 1931 බෞද්ධ විහාර හා දේවාලගම් ආඥා පනත ප්‍රකාරව උඩරට රාජ්‍යයට අයත්ව තිබූ සියලු දිස්ත්‍රික්කවල රටේ මහත්වරු හා රජ මහා විහාරවල භාරකාර භික්ෂූන් වහන්සේලා දක්වා පුළුල් වී ඇත. දියවඩන නිලමේ තනතුර රජයේ නීතියක් අනුව පත් කෙරෙන තනතුරක් වන අතර, ඔහුගේ කටයුතු රජයේ අධීක්ෂණයට හා පාලනයට නීතියෙන් ම ලක් කර ඇති නිසා ඔහු රජය නියෝජනය කරමින් කටයුතු කළ යුතු අයෙක් මිස රජයෙන් ස්වාධීන තනතුරක් නොවන බව වටහා ගැනීම වැදගත් ය.

1853 දී දළදා වහන්සේගේ භාරකාරිත්වය උභය පාර්ශවීය මහනායක ස්වාමීන් වහන්සේලා දෙපළටත් දියවඩන නිලමේවරයාටත් පැවරුවාක් පමණක් නොව, දළදා මාලිගාවට අයත් නිශ්චල හා චංචල දේපළවල භාරකරු ලෙස දියවඩන නිලමේවරයාව පත් කිරීම සිදු විය. ආරම්භයේ පටන් ම දළදා වහන්සේ ඇතුළුව දළදා මාලිගාව මෙන්ම ඊට අයත් නිශ්චල, චංචල දේපළවල අයිතිය ඇත්තේ ශ්‍රී ලංකා රජයට යි. සෙසු විහාරාරාම මෙන් දළදා මාලිගාව හෝ ඊට අයත් නිශ්චල, චංචල දේපළ සාංඝික දේපළ නොවේ. සාංඝික අයිතියේ පවතින විහාර ආරාම සඳහා භාරකරුවන් පත් කිරීමේ බලය එකී විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ සතු ය. එසේ නොවන බෞද්ධ පූජනීය ස්ථාන භාරකරුවන් රජයේ නීතිරීතිවලට අනුව, එනම් විහාර දේවාලගම් ආඥා පනතට අනුව පත් කෙරේ. සාංඝික විහාරස්ථානයක් වන ශ්‍රී පාදස්ථානයේ භාරකරු පත් කිරීමේ බලය ශ්‍රී පාදස්ථානාධිපති නාහිමියන් සතුවෙද්දී, ශ්‍රී දළදා මාලිගාවේ භාරකරු වන දියවඩන නිලමේ පත් කරන්නේ බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත අනුව ඡන්දයෙන් වන්නේ මේ නිසා ය.

1853 දී දළදා වහන්සේගේ භාරකාරිත්වය උභය පාර්ශවීය මහනා හිමිවරු හා දියවඩන නිලමේටත්, දළදා මාලිගාවේ සෙසු නිශ්චල, චංචල දේපළ භාරකාරිත්වයට දියවඩන නිලමේත් පත් කිරීම කළත්, අද දක්වා ම අඛණ්ඩව දළදා මාලිගාවත් ඊට අයත් දේපළත් දළදා වහන්සේගේත් අයිතිය නොවෙනස්ව ශ්‍රී ලංකා රාජ්‍යය සතු ය. 1847 දී දළදා වහන්සේගේ භාරකාරිත්වය ඉහත විස්තර කළ දොළොස් දෙනෙකුගෙන් යුතු භාරකාර මණ්ඩලයකට ලබා දී, 1848 දී යළි රජයට පවරා ගැනීමේ උදාහරණයෙන් පැහැදිලි වන්නේ දළදා වහන්සේගේ පරම අයිතිය ශ්‍රී ලංකා රාජ්‍ය භාරයේ අඛණ්ඩව පවතින බව යි. ඒ අනුව 1853 ශ්‍රී ලංකා රාජ්‍යය විසින් තිදෙනෙකුට පවරා දුන්නේ දළදා වහන්සේගේ භාරකාරිත්වය පමණක් බව අවබෝධ කරගත යුතු ය. මේ භාරදීම සංකේතවත් කළේ දළදා වහන්සේ වැඩ සිටින කුටියේ සහ පිටතින් ඇති දෙවන විමලධර්මසූරිය රජු කරවූ ස්වර්ණාලේපිත රිදී කරඬුවේ යතුරු දියවඩන නිලමේටත්, ඇතුළත දෙවෙනියට ඇති කරඬුවේ යතුර මල්වතු මහ නායක ස්වාමීන් වහන්සේටත්, තුන්වෙනියට ඇති කරඬුවේ යතුරු අස්ගිරි මහ නායක ස්වාමීන් වහන්සේටත් භාරදීමෙනි. මේ කුටියේ හෝ කරඬුවල යතුරු වෙනත් කිසිවෙක් සතුව නොමැති බව ද කියවේ. ඒ අනුව තමන් භාරයට නිල වශයෙන් පත්වී ඇති යතුරු ආරක්ෂා සහිතව තබාගෙන අත්‍යවශ්‍ය කාර්යයන්ට භාවිතා කරනවා හැර, ඒ යතුරු වෙනස් කිරීම, අමතර යතුරු තැනීම, එකී යතුරු තහඩු වෙනස් කිරීම සඳහා කවර හෝ බලයක් භාරකරුවන්ට ලබාදී ඇතැයි සිතිය නොහැක.

තත්ත්වය මෙය වුවද, පසුගිය සතියේ දළදා වහන්සේ තැන්පත් කර ඇති කරඬු සියල්ලට පිටතින් ඇති දෙවන විමලධර්මසූරිය රජු කරවූ ස්වර්ණාලේපිත රිදී කරඬුව, නැතහොත් මහ කරඬුව නමින් හඳුන්වන කරඬුව, ඉවත් කර පෞද්ගලික ව්‍යාපාරිකයෙකු පූජා කළ රන් කරඬුවක තැන්පත් කරන බව උභය පාර්ශව මහ නා හිමිවරුන් දෙපළ හා දියවඩන නිලමේවරයා තමා වෙත දැන්වූ බවත්, එම අවස්ථාවට තමා සහභාගී වූ බවත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා මාධ්‍ය ඉදිරියේ නිවේදනය කළේ ය. මේ සමඟ ම විවිධ පැතිකඩයන් ඔස්සේ මේ කළ ක්‍රියාවට රට පුරා බෞද්ධයින්ගේ විරෝධය මේ වන විට එල්ල වෙමින් තිබේ.

දෙවන විමලධර්මසූරිය රජු කරවූ මහ කරඬුව පුරාවස්තුවක් බවත්, එය වැඩ සිටින කුටියේ ආසනයට සවිකර තිබෙන පුරාවස්තුවක් බැවින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ගේ පූර්ව අනුමැතියකින් හා අධීක්ෂණයෙන් තොරව ඉවත් කිරීම මගින් පෞරාණික වස්තු පිළිබඳ ආඥා පනත උල්ලංඝනය කර ඇප ලබා නොදිය හැකි අපරාධමය වරදක් කර ඇතැයි ප්‍රබල චෝදනාවක් දියවඩන නිලමේවරයාට එල්ල වේ. දළදා මාලිගාවේ තැන්පත් කර ඇති දළදා වහන්සේගේ භාරකාරිත්වය තිදෙනෙකු සතු වුණත්, එහි දේපළ භාරකරු වන්නේ දියවඩන නිලමේවරයා යි. ඒ නිසා තමන් භාරයට පත් පෞරාණික කරඬු පිළිබඳ වගකීම දැරිය යුත්තේ දියවඩන නිලමේවරයා යි. මේ අවස්ථාවේ දියවඩන නිලමේවරයා තමන් ද සමභාරකාරිත්වය දරන දළදා වහන්සේ සහිත ආරක්ෂිත සෙසු කරඬු තැන්පත් කර ඇති පෞරාණික මහ කරඬුවෙන් දළදා වහන්සේ සහිත අභ්‍යන්තර කරඬු ඉවත් කර ඒවා වෙනත් කරඬුවකට මාරු කර ඇති බවට තහවුරු කරන්නේ රටේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ය. මේ මහ කරඬුව ආසනයට සවිකර තිබූ පුරාවස්තුවක් බැවින් මේ කරන ලද කාර්යය අතිශය බරපතල වරදක් බව සඳහන් කළ යුතු ය. අනික් අතට, දියවඩන නිලමේවරයා තමා භාරයේ තිබූ මහ කරඬුව මාරු කිරීමෙන් තවත් බරපතල වරදක් සිදු කර ඇත. ඒ 1853 දී රජය විසින් තම නිලයට භාරදෙන ලද යතුරට අදාළ කරඬුව රජයේ එකඟතාවයක් හා අනුමැතියක් නොමැතිව වෙනස් කිරීමේ වරද යි. මෙය බරපතල ලෙස විශ්වාසය කඩ කිරීමේ වරදක් වන්නේ ය. පුරාවස්තු පිළිබඳ ක්‍රියා කිරීමේ දී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතිය යටතේ මෙන්ම අධීක්ෂණය යටතේ කළ යුතු වුණා සේ ම, තම නිලය භාරයට රජය භාර දුන් යතුරට අදාළ කරඬුව වෙනස් කළ යුතු වුණා නම් ඒ සඳහා ඔහු කළ යුතුව තිබුණේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් මඟින් අදාළ විෂය භාර අමාත්‍යවරයා වෙත සාධාරණ හේතූන් ඉදිරිපත් කර මේ සඳහා අනුමැතිය ඉල්ලා සිටීම යි. අමාත්‍යවරයා මේ ඉල්ලීම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඊට අනුමැතිය ගත යුතු අතර, ඊට අතිරේකව රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයාගේ ද විශේෂ අනුමැතිය ලබා ගත යුතු ය. එසේ ම, මේ කරුණ නීතිරීති රාශියකින් සීමා කර ඇති බෞද්ධ ජනතාවට අතිශය සංවේදී කරුණක් වන බැවින් අමාත්‍ය මණ්ඩලය අදහස් කරන්නේ නම් පාර්ලිමේන්තුවේ විශේෂ යෝජනාවක් ඉදිරිපත් කර මහජන නියෝජිතයින්ගේ අදහස් ද විමසා බලා දිය යුතු අනුමැතියකි. මේ අනුමැතිය මත කරඬුව මාරු කරන්නේ නම් එහි යතුරු සැකසිය යුත්තේ රජයේ කර්මාන්තශාලාව මගින් දියවඩන නිලමේ, මහ නාහිමිවරුන් දෙපළ, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් යන අයගේ පෞද්ගලික අධීක්ෂණය යටතේ ය. මේ කිසිවක් අනුගමනය නොකර හිතුමතේ මහ නාහිමිවරුන්ගේ එකඟතාවය පමණක් ගෙන මේ කර ඇති වරද නිවැරදි කිරීමට කළ යුත්තේ වහාම දළදා වහන්සේ සහිත කරඬුව හා පරිවාර අභ්‍යන්තර කරඬු යළිත් පෞරාණික මහ කරඬුවේ තැන්පත් කිරීම පමණි. මෙහිදී බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා කටයුතු කළ නිද්‍රාශීලී ආධුනික පිළිවෙත පිළිබඳව රජය සුදුසු පියවර වහාම ගත යුතුව ඇත.

සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

එතෙර - මෙතෙර