ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි සහගත තත්ත්වය හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි සහ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඊයේ (14) නිකුත් කළ අනාවැකි අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි අතර, වැසි සමඟ අකුණු සහ තාවකාලික තද සුළං ඇතිවීමේ අවදානමක් ද පවතී.අධික වැසි හේතුවෙන් ඊයේ පස්වරුවේ සිට ගාල්ල, අලුත්ගම ඇතුළු ප්‍රදේශ කිහිපයක මාර්ග ජලයෙන් යටවූ අතර, ඉදිරි වැසි තත්ත්වය හමුවේ පහත් බිම්වල ජනතාවට අවධානයෙන් පසුවන ලෙස බලධාරීහු දැනුම් දෙති. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ද අද (15) අලුයම තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. මේ අතර, දිවයිනේ ජලාශවල ජල සංචිතය තවමත් පහළ මට්ටමක පවතී. වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අනුව ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව සියයට 45කට ආසන්න මට්ටමක පවතින අතර, පසුගිය සතියේ සමස්ත ජලාශ ජල සංචිතය සියයට 47.3ක් ලෙස වාර්තා වී තිබිණි. ඇතැම් ප්‍රධාන ජලාශවල ජල මට්ටම ඊටත් වඩා පහළ මට්ටමක පවතින බව වාර්තා වේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ පවතින ජල සංචිත යල කන්නයේ ඉතිරි වගා කටයුතු සඳහා ප්‍රමාණවත් බවයි. එහෙත් පානීය ජල අවශ්‍යතාවට ප්‍රමුඛත්වය ලබාදෙන බැවින් ඇතැම් ජලාශවල ජලය වගා කටයුතු සඳහා නිකුත් කිරීම සීමා කර ඇති අතර, ඉදිරි මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීමේ තීරණ ජල මට්ටම් සහ ඉදිරි වැසි අනාවැකි අනුව ගැනීමට නියමිතය.