අප නොදන්න මැයි දින කතා

අද ලෝක කම්කරු දිනයයි. පාලක පංතිය හමුවේ කම්කරුවන් සතු බලය විදහා දක්වන දිනය අදයි. කම්කරු දිනය පිළිබඳ කතාව ආරම්භ කිරීමේ දී කවුරුත් පවසන දේ මෙය වුව ද සැබවින්ම සිදුවන්නේ මෙය ද යන ගැටලුව අප ඉදිරියේ ඉතිරි වෙයි. එකම වැඩ බිමේ, එකම ආකාරයේ ගැටලුවලට මුහුණ දෙමින් වෙහෙස මහන්සි වන, දහඩියමුගුරු වගුරුවන කම්කරු ජනතාව එකී ගැටලු ජය ගැනීම සඳහා අද දිනයේ එකමුතු විය යුතුය. ඒ ගැටලු පාලක පන්තියට අවබෝධ කර දිය යුතුය. නමුත් සැබවින්ම සිදුවන්නේ එය නොවේ. අද දිනයේ දී එකමුතු විය යුතු සියලු දෙනා දේශපාලක පක්ෂ, වෙනත් සංගම් සහ ව්‍යාපාරවලට බෙදී වෙන් වී කම්කරු දිනය සමරයි. සියලු දේශපාලන පක්ෂ සිය අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා මෙවලමක් ලෙස යොදා ගන්නේ කම්කරු ජනතාවය. ඔවුන් මේ සඳහා කම්කරුවන්ව ඒකරාශී කරනවා වෙනුවට ඔවුන්ට කැමති ආකාරයට බෙදා වෙන්කොට සිය දේශපාලන පක්ෂයේ අරමුණු ජයග්‍රහණය කරවා ගැනීම සඳහා කම්කරුවන්ව යොදා ගනු දක්නට ලැබේ. සිය දේශපාලන මතවාදී කන්නාඩිය ගලවා ඉවතින් තබා මේ තත්ත්වය දෙස බැලුවහොත් මෙය බරපතළ වරදක් බව තේරුම් ගැනීම දුෂ්කර වන්නේ නැත. කම්කරුවන් එකමුතු වී පාලකයන්, දේශපාලකයන් හමුවේ සිය බලය ප්‍රදර්ශනය කළ යුතු වුවත් එය සිදුවන්නේ නැත. එබැවින් ගෙවී ගිය වසර ගණනාවක කාලය තුළ සේම අද දිනයේ ද කම්කරු දිනය සැමරෙන්නේ එවැනි අවාසනාවන්ත තත්ත්වයක් තුළය.

ලොව පුරා මැයි දින සැමරුම් පවත්වනු ලැබුව ද කලින් කලට ඒවා වෙනස් වෙමින් වර්තමානය වන විට අමුතුම මුහුණුවරක් ගෙන ඇති බව පෙනෙන්නට තිබේ. කවුරුත් දන්නා පරිදි මැයි 1 වැනි කම්කරු දිනයක් බවට පත් වන්නට මුල් වූයේ ඇමරිකාවේ කම්කරුවන් විසින් දියත් කළ අරගලයක ප්‍රතිඵලයක් ලෙසිනි. එසේ නම් කම්කරු දිනය උපන් රට වූ ඇමරිකාවේ මෙය ඉතා උත්කර්ෂවත් ලෙස සැමරිය යුතු වුව ද වර්තමානයේ එවැන්නක් දක්නට ලැබෙන්නේ නැති තරම්ය. ඇමරිකා එක්සත් ජනපදයේ මැයි දිනය ආරම්භ වන්නට නියමිතව ඇත්තේ එරට වසන්ත නිවාඩුවත් සමගිනි. නමුත් ඔවුන්ට ඊට පෙර පාස්කු සැමරුම උදා වේ. එය සැමරීමෙන් පසු ඔවුන්ට නැවතත් වසන්ත උත්සවයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් නැති තරම්ය. අනෙක කම්කරු දිනයේ ආරම්භය ඇමරිකාවේ සිදු වුවත් එය වර්තමානය වන විට වඩාත් සමීපව ඇත්තේ සමාජවාදය හෝ කොමියුනිස්ට්වාදය ආශ්‍රිත දේශපාලනමය සිදුවීමක් ලෙසිනි. මේ දේශපාලන න්‍යායන් දෙකම ඇමරිකාව තුළ ජනප්‍රිය නැත. එබැවින් වර්තමානයේ ඇමරිකාව තුළ උත්කර්ෂවත් අන්දමින් සැමරෙන මැයි දිනයක් නොමැති තරම්ය.

සමාජවාදය මුල් බැස ගත් තවත් රටක් වන්නේ චීනයයි. එහි ද මැයි 1 වැනිදාව කම්කරු දිනය ලෙස සැමරුන ද එයට මුල් වී ඇත්තේ විදෙස් ආක්‍රමණවලට එරෙහිව රජය කිසිදු පියවරක් නොගැනීමට විරෝධය පළ කරමින් 1919 වසරේ ඇති වූ ශිෂ්‍ය අරගලයකි. එරට කොමියුනිස්ට් පක්ෂය බලයට පැමිණීමෙන් පසු එම දිනය කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් විය. චීනයේ මැයි දිනයේ දී යුද ශක්තිය සමග දැවැන්ත රැළි සංවිධානය කරනු දක්නට ලැබේ. නමුත් මහජනතාව එය සලකන්නේ පවුලේ පිරිසත් සමග එකමුතුව විනෝද වන දිනයක් ලෙසිනි.

සමාජවාදය සහ කොමියුනිස්ට්වාදය ඉතා දැඩිව ක්‍රියාත්මක වන රටවල් අතුරින් මූලික තැනක පසු වන්නේ රුසියාවය. සාර් පාලනය පෙරළා දමා එරට බිහි වූයේ කොමියුනිස්ට් පාලනයකි. සෝවියට් සංගමය පැවති සමයේ එරට මොස්කව් වැනි නගර තුළ දැවැන්ත පා ගමන් සහිත මැයි දින පෙළපාලි දක්නට තිබුණ ද වර්තාමනය වන විට එරට ද එය දැවැන්තව සැමරෙන බවක් පෙනෙන්ට නැත. ඔවුන් මැයි දිනය පිළිගන්නේ ‘වසන්ත සහ කම්කරු දිනය’ ලෙසිනි. වර්තමානයේ රුසියාවේ මැයි 1 වැනිදාව සැලකෙන්නේ වසන්ත සමයේ උදාව ලෙසින් මිසක කම්කරු අයිතීන් දිනා ගන්නා දිනයක් ලෙසින් නොවේ. සුළු පරිමාණ රැළි පැවැත්වෙනු දැකිය හැකි නමුත් එහි කම්කරු අයිතීන් දිනා ගැනීමේ අභිමානයක් පෙනෙන්නට නැත.

සමාජවාදය මුල් බැස ගත් තවත් රටක් වන්නේ චීනයයි. එහි ද මැයි 1 වැනිදාව කම්කරු දිනය ලෙස සැමරුන ද එයට මුල් වී ඇත්තේ විදෙස් ආක්‍රමණවලට එරෙහිව රජය කිසිදු පියවරක් නොගැනීමට විරෝධය පළ කරමින් 1919 වසරේ ඇති වූ ශිෂ්‍ය අරගලයකි. එරට කොමියුනිස්ට් පක්ෂය බලයට පැමිණීමෙන් පසු එම දිනය කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් විය. චීනයේ මැයි දිනයේ දී යුද ශක්තිය සමග දැවැන්ත රැළි සංවිධානය කරනු දක්නට ලැබේ. නමුත් මහජනතාව එය සලකන්නේ පවුලේ පිරිසත් සමග එකමුතුව විනෝද වන දිනයක් ලෙසිනි. ගමන්බිමන් යාම, සංස්කෘතික උත්සවයන් පැවැත්වීම මේ දිනයේ සිදු කරනු දැකිය හැකිය. නාට්‍ය සහ චිත්‍රපට නැරඹීම සඳහා ද මේ දිනය වෙන් වී තිබේ. අනෙක කඩ සාප්පුවල මේ දිනයේ දී විශේෂ වට්ටම් ලබා දෙනු ද දැකිය හැකිය.

කොමියුනිස්ට්වාදය තදින්ම මුල් බැස ගත් තවත් රටක් ලෙස කියුබාව හැඳින්විය හැකිය. එරට රුසියාව සහ චීනයට වඩා උත්කර්ෂවත් ලෙස මැයි දිනය සමරනු දැකිය හැකිය. මැයි 1 වැනිදා එරට විප්ලවීය චතුරස්‍රයට පෙළපාලි ගමන් කිරීම දැකිය හැකිය. එම චතුරස්‍රය තුළ විවිධ සංස්කෘතික අංග පවත්වනු ලබයි. කම්කරුවන් ධජ පතාක රැගෙන රට පුරා පෙළපාලි යනු සුලබ දසුනකි.

එක්සත් රාජධානිය හෙවත් මහා බ්‍රිතාන්‍යයේ මැයි 1 වැනිදාව යෙදුණේ සඳුදා දිනයක නොවේ නම් එය රජයේ නිවාඩු දිනයක් ලෙස සැලකෙන්නේ නැත. එරට මැයි දින සැමරුම් සිදු වුන ද ඒ කිසිවක් කම්කරු අයිතීන් දිනා ගැනීම්වලට සම්බන්ධයක් නැත. ඔවුහු මෙදින සිය පැරණි, සාම්ප්‍රදායික සංස්කෘතික අංග පවත්වමින් සතුටු වනු දැකිය හැකිය. මැයි රැළි දක්නට ලැබුණත් ඒවා මහා පරිමාණ ඒවා නොවේ.

ඉන්දියාවේ මැයි දිනය ‘මහාරාෂ්ට්‍ර දිනය’ සහ ‘ගුජිරාත් දිනය’ ලෙසින් ද හඳුන්වනු ලබයි. එම ප්‍රාන්තවල සිදුවී සුවිශේෂී සිදුවීම් මුල්කර ගනිමින් මෙය මෙසේ හඳුන්වන්නට යෙදී තිබේ. එරට ද අප රටේ සේම දේශපාලනික මැදිහත්වීම් සහිතව දැවැන්ත මැයි දින පෙළපාලි පවත්වනු දක්නට ලැබේ.

ලෝකයේ විවිධ රටවල මැදි දිනයන් සමරනු ලැබුව ද එය සංස්කෘතික උත්සවයක් ලෙස විනා කම්කරු අයිතීන් වෙනුවෙන් එතරම් දැඩි සැලකිල්ලක් දක්වා සමරන්නේ නැති බවය. අප රටේ එය කම්කරු අයිතීන් නාමයෙන් සැමරෙන බව පෙන්වූව ද සිදු නොවන්නේ ද එයමය. අප රටේ ජනතාව සැම දිනකම රැවටෙන්නේ මෙයටය. කම්කරුවා කවදත් අගාධයේමය.

ඕස්ට්‍රේලියාවේ මැයි දිනය සමරනු ලැබුව ද එක් එක් ප්‍රාන්තවල වෙනස් ආකාරයෙන් සැමරේ. බටහිර ඕස්ට්‍රේලියාවේ එය සමරන්නේ මැයි මාසයේ 1 වැනිදා නොවේ. මැයි මාසයේ පළමු වැනි ඉරිදා දිනයේ ය. ක්වීන්ස්ලන්ඩ් සහ උතුරු ප්‍රාන්තයේ මැයි 1 වැනිදා සමරනු ලබයි. දේශපාලන පක්ෂවල වැඩි දායකත්වය එහි මේ සඳහා දක්නට නොලැබෙන අතර වෘත්තීය සමිති මේ සඳහා මුල් වේ. විවිධ උත්සව ආදිය පැවැත්වෙන අතර කම්කරු අයිතීන් දිනා ගැනීමට වඩා ඉස්මතු වී පෙනෙන්නේ ඔවුන්ගේ සංස්කෘතික උත්සව අංගයන්ය.

මේ අනුව පෙනෙන්නේ ලෝකයේ විවිධ රටවල මැදි දිනයන් සමරනු ලැබුව ද එය සංස්කෘතික උත්සවයක් ලෙස විනා කම්කරු අයිතීන් වෙනුවෙන් එතරම් දැඩි සැලකිල්ලක් දක්වා සමරන්නේ නැති බවය. අප රටේ එය කම්කරු අයිතීන් නාමයෙන් සැමරෙන බව පෙන්වූව ද සිදු නොවන්නේ ද එයමය. අප රටේ ජනතාව සැම දිනකම රැවටෙන්නේ මෙයටය. කම්කරුවා කවදත් අගාධයේමය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර