චීන ජනාධිපති ෂී ජින්පිං ට ඉල්ලා අස්වන්නැයි කියති

sejin

චීන ජනාධිපති ෂි ජින්පිං ලෝකයේ බලගතුම නායකයකු ලෙස සැලකෙන්නෙකි. ඔහුගේ බලයට චීනය තුළ කිසිවෙකුත් අභියෝග කරන පාටක් පෙනෙන්නට තිබුණේ නැත. නමුත් මේ වනවිට එරට තුළ වර්ධනය වෙමින් ඇති තත්ත්වය මෙයට වෙනස් චිත්‍රයක් මවන්නට සමත් වී තිබේ. චීන රජයේ ඇතැම් ප්‍රතිපත්තිවලට එරෙහිව උණුසුම් විරෝධතා මතුවන්නට පටන්ගෙන ඇති අතර ෂී ජින්පිං ඉල්ලා අස්විය යුතු බව පැවසෙන සටන් පාඨ ද ඒ අතර අසන්නට ලැබිණි. මෙය චීනය තුළ මෙයට පෙර දකින්නට ලැබුණු තත්ත්වයක් නොවේ. බීජිං, ෂැංහයි වැනි ප්‍රධානම නගරවල පවා විරෝධතා පැවැත්වෙනු දැකිය හැකි විය. විරොධතාකරුවන් සහ ආරක්‍ෂක අංශ අතර ගැටුම් ඇතිව තිබූ බව ද, බොහෝ දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති බව ද වාර්තා විය.

ෂි ජින්පිං වෙත සහ චීන රජය වෙත මේ ආකාරයෙන් ජනතා විරෝධය වර්ධනය වන්නට ප්‍රධානම හේතුව එරට තුළ කොවිඩ් මර්ධනය සඳහා ක්‍රියාත්මක වන දැඩි සීමාවන් ය. ආසාදිතයන් ඉතා සුළු සංඛ්‍යාවක් වාර්තා වන අවස්ථාවල පවා අදාළ ප්‍රදේශ තුළ අගුලුලෑම් ක්‍රියාත්මක කිරීමට නිලධාරීහු කටයුතු කරති. එමෙන්ම එවැනි ප්‍රදේශවල ජනතාව නිරන්තරයෙන් කොවිඩ් පරීක්‍ෂාවන්ට ලක් කිරීම ද සිදුවේ. ආසාදිතයන් සහ ආශ්‍රිතයන් නිවෙස් තුළ මෙන්ම වෙනත් මධ්‍යස්ථාන තුළ ද නිරෝධායනයට ලක් කිරීම ද තවමත් සිදු වෙමින් තිබේ. මේ අතර රටේ ආර්ථිකය ද කෙමෙන් අඩාල වෙමින් ඇති බව වාර්තා වේ. කොවිඩ් වසංගතය ආරම්භ වී ගත වූ වසර තුන තුළම චීන වැසියන්ට එක දිගටම වාගේ ඉහත කී සීමාවන් යටතේ දිවි ගෙවීමට සිදු විය. නමුත් ලෝකයේ බොහෝ රටවල් මේ වනවිට කොරෝනා වයිරසය සමග සාමාන්‍ය ආකාරයෙන් ජීවත් වීමට පටන්ගෙන අවසන් ය. ඒ රටවල ජනයා බොහෝ දුරට සාමාන්‍ය, නිදහස් ජීවිත ගත කරති. මේ බව දකින විට චීනයේ ජනතාව තුළ යම් ආතතියක් ඇති වීම පුදුමයක් නොවේ. ඔවුන් තම රටේ ක්‍රියාත්මක වන දැඩි කොවිඩ් සීමාවන් නිසා මේ වනවිට වෙහෙසට පත්ව සිටින ආකාරයක් දැකිය හැකි වේ.

මේ වනවිට පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියට අදාළව එක් චීන ජාතිකයකු දක්වා තිබූ අදහසක් පසුගිය දිනෙක මාධ්‍ය තුළ පළ වී තිබිණි. ඔහු පවසා තිබුණේ බොහෝ රටවල පාපන්දු ලෝලීන් සැණකෙළි ස්වරූපයෙන් නිදහසේ තරගාවලිය රස විඳින ආකාරය දකින විට මෙම තරගාවලිය පැවැත්වෙන්නේ වෙනත් ග්‍රහලෝකයක දැයි තමුන්ට සිතුණු බවයි. අගුලුලෑම් ඇතුළු සීමාවන් නිසා චීනයේ පාපන්දු ලෝලීන් බොහෝ දෙනෙකුට වෙනදා මෙන් නිදහසේ තරගාවලිය රස විඳින්නට නොහැකි වී ඇත. පාපන්දු යනු චීනයේ ද ජනප්‍රියම ක්‍රීඩාවකි. ජනාධිපති ෂී ජින්පිං පවා හොඳ පාපන්දු ලෝලියකු බව ප්‍රසිද්ධ කාරණයකි.

කොවිඩ් සීමාවන්ට එරෙහිව ජනතාවගේ විරෝධය වඩාත් ගිනියම් කිරීමට සමත් වූ සිද්ධියක් පසුගිය දා සිදු විය. එනම් උරුම්කි නැමැති නගරයේ තට්ටු නිවාස ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් 10 දෙනෙකු මරණයට පත් වීමයි. එම ප්‍රදේශය තුළ ඒ වනවිට ක්‍රියාත්මක වෙමින් පැවැති අගුලුලෑම් මෙම මරණවලට වගකිව යුතු බව ප්‍රදේශවාසීන්ගේ අදහස විය. දැඩි ලෙස ක්‍රියාත්මක කළ අගුලුලෑම් නිසා ජනතාව ගොඩනැගිලිවල සිර වී සිටි බවට ද, ගිනි නිවන අංශවලට ඉක්මනින් එහි ළඟා වීමට නොහැකි වූ බවට ද ජනතාවගෙන් චෝදනා එල්ල වී තිබිණි. එම ප්‍රදේශයේ නිලධාරීන් මෙම චෝදනා ප්‍රතික්‍ෂේප කර තිබුණත් ජනතාව තුළ නැගුණු කෝපය සමනය කිරීමට ඊට හැකි වූයේ නැත. ජනතාව දහස් ගණනින් වීදි බසිමින් විරෝධතා දක්වන්නට පටන් ගත්තෝය. මුලින් උරුම්කි ප්‍රදේශයට පමණක් සීමා වූ විරෝධතා පසුව බීජිං, ෂැංහයි, වූහාන්, නැන්ජිං, චෙංග්දු වැනි නගරවලට පවා පැතිර ගොස් තිබිණි. ෂී ජින්පිං ඉල්ලා අස්විය යුතු බවට පවා සටන් පාඨ ප්‍රකාශ වී තිබුණේ මෙම විරෝධතාවලදී යි.

නිරීක්‍ෂකයන් පවසන්නේ මෙම විරෝධතා සඳහා පසුබිම කාලයක් තිස්සේම සකස් වෙමින් තිබූ බවයි. වසර තුනකට කිට්ටු කාලයක් තිස්සේ මෙවැනි දැඩි කොවිඩ් සීමාවන්ට යටත්ව ජීවත් වීමට සිදුවීමෙන් ජනතාව මහත් විඩාවට පත්ව සිටින බව ඔවුහු පෙන්වා දෙති. කොවිඩ් සීමාවන් හේතුවෙන් නියම වේලාවට වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට නොහැකි වීම වැනි හේතු නිසා ගැබිණි මව්වරුන්ට දරුවන් අහිමි වීම, මහළු සහ දුර්වල පුද්ගලයන් මරණයට පත් වීම, නිරෝධායන මධ්‍යස්ථානවල සිටි දරුවන් මරණයට පත් වීම වැනි සිදුවීම් ගැන ද වාර්තා විය. වරක් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත ආසාදිතයන් රැගෙන යමින් තිබූ බස් රියක් අනතුරට ලක් වීමෙන් විශාල සංඛ්‍යාවක් මරණයට පත් වූයේය. ජනතාව තුළ පැවැති ආතතිය ඉහළ දැමීමට මෙවැනි සිදුවීම් ද හේතුවන්නට ඇතැයි සැලකිය හැකිය.

මෙම හිරිහැර තව කොපමණ කලක් විඳ දරා ගැනීමට සිදු වේවිද යන පීඩාකාරී හැඟීම ජනතාව තුළ පවතින බව පෙනේ. මේ වනවිට චීන වැසියන් තුළ පවතින විරෝධය ෂි ජින්පිං පාලනය මෑත කාලයේ මුහුණ දෙන ලොකුම අභියෝගය වනු ඇති බව දේශපාලන නිරීක්‍ෂකයන්ගේ මතය යි.

මෙවැනි තත්ත්වයක් පැවතියත් රජය කොවිඩ් සීමාවන් ලිහිල් කිරීමට පියවර ගනීවි ද යන්න තවමත් පැහැදිලි නැත. මන්ද යත් මේ වනවිට නැවතත් චීනය තුළ ආසාදිතයන් වාර්තා වීම ඉහළ යමින් ඇති බැවිනි. දෛනිකව වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත ආකාරයෙන් ඉහළ ගොස් තිබේ. මාස හයකට පසු වාර්තා වූ පළමු කොවිඩ් මරණ ගැන ද පසුගිය දිනවල අසන්නට ලැබිණි. එම මරණ වාර්තා වී තිබුණේ අගනුවර වන බීජිං නගරයෙනි. මෙම තත්ත්වය තුළ ඇතැම් ප්‍රදේශවල නැවතත් අගුලුලෑම් ඇතුළු සීමාවන් ක්‍රියාත්මක කිරීමට නිලධාරීන් පියවර ගෙන තිබේ. පාසල්, අවන්හල්, සාප්පු ඇතුළු ප්‍රසිද්ධ ස්ථාන වසා දැමීමට නියෝග කර තිබිණි.

මෙවැනි සීමාවන් සාධාරණීකරණය කරමින් බලධාරීන් පවසන්නේ මේ නිසා රට තුළ කොවිඩ් මරණ අඩුකිරීමට හැකි වී ඇති බවයි. එහි යම් සත්‍යයක් ඇති බව සංඛ්‍යාලේඛන අනුව පෙනී යයි. චීනය තුළ සමස්තයක් ලෙස මේ වනවිට කොවිඩ් මරණ වාර්තා වී ඇත්තේ 5,200 ක් පමණි. බිලියන 1.4 ක් වන එරට ජනගහණයට සාපේක්‍ෂව සලකා බලන කළ සෑම මිලියනයකටම මරණ වාර්තා වී ඇත්තේ තුනක් වැනි සංඛ්‍යාවකි. මෙය වෙනත් බොහෝ රටවලට වඩා ඉතා යහපත් තත්ත්වයක් බව පැවසිය හැකි වේ. ඇමරිකාවේ සෑම මිලියනයකටම මරණ 3,000 ක් පමණ වාර්තා වේ. එරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ මිලියන 1.09 ක් ලෙසිනි.. ඇමරිකාවේ ජනගහණය මිලියන 332 ක් වේ.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර