ජනප්‍රිය බෝධි පූජා රැල්ල බෞද්ධද? නැතිනම් හින්දුද?

වර්තමාන ශ්‍රී ලංකාවේ බෞද්ධාගමික පුදපූජා අතුරින් බෝධි පූජාවට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි.විශේෂයෙන් අප රටේ මධ්‍යම පන්තියේ ජනතාව අතර එය බෙහෙවින් ජනප්‍රිය වී ඇත. දාර්ශනික පක්ෂයෙන් බුදු දහමට පිවිසෙන්නවුන්ගේ අගැයුමට ලක් නොවන මෙය භක්තිමත් චාරිත්‍රාවලියක් සේම ප්‍රාථමික සමාජයේ පැවැති වෘක්ෂ වන්දනාවේම නවීකරණයක් සේ හැඳින්විය හැකි ය. එමෙන්ම මෙය හුදෙක් පූජාවකට වඩා වතාවත් මත පදනම් වන චාරිත්‍රවලියක් සේ පෙනෙයි.යමක් ශුද්ධ වස්තුවක් සේ පිළිගෙන වන්දනා මාන කිරීම පුරාතනයේ සිටි ප්‍රධාන ආගමික ලක්ෂණයකි. ආගමක් ඇතිවීම කෙරෙහි බලපාන මූලික කාරණය ශුද්ධ වස්තුවක් කේන්ද්‍රගතව පැවතීම බව එමිල් ඩර්ඛිම් ප්‍රංශ නම් සමාජ විද්‍යාඥයා ප්‍රකාශ කොට ඇත. මේ ශුද්ධ වස්තුව වටා විශ්වාස පද්ධතියක් ද, පිළිවෙත් රැසක් ද, පිළිවෙත් කිරීමට සංවිධානයක් ද ගොඩනැගී ඒ මගින් ආගම සමාජ සංස්ථාවක් හැටියට ගොඩනැගෙනා බව ඔහුගේ පිළිගැනීමය. දුරාතීතයේ දී ජනතාව බෝධිය වන්දනා කළේ බෝධියට අරක් ගත් දේවතාවකු ඇතැයි යන විශ්වාසයෙන් බව සිද්ධාර්ථ බෝසත් චරිතයේ එන යම් යම් කථා පුවත්වලින් පෙනේ.අද ද හින්දු භක්තිකයෝ එසේ කරති.විශේෂයෙන් හින්දු කාන්තාවෝ පවුල් ජීවිතයේ අභිවෘද්ධිය තකා මෙම වෘක්ෂයට පුද පූජා පවත්වති.අනතුරුව අප රටේ බෞද්ධයන් එම අදෘශ්‍යමාන දේව බලය වෙනුවට බුදුන් වහන්සේ පිටදුන් නිසා ඇති වූ ශුද්ධ බවක් එයට ආරෝපණය කර ඇත.බෝධිය බුදුරජාණන් වහන්සේ ගේ ශරීර ස්පර්ශය ලද ශුද්ධ වස්තුවක් සේ සළකා බෝධිය නමින් හඳුන්වන ඇසතු ගසට වඳිති. පූජා පවත්වති. බුද්ධ චරිතයේ විවිධ සිදුවීම් ගැන ගෞරවාන්විත පිළිගැනීමක් ඇති සාමාන්‍ය පොදුජන බෞද්ධයා මාර පරාජය, බුදුවීම, අනිමිස ලෝචනය වැනි විශේෂ සිද්ධිවලට බෝධිය සෘජුබව සම්බන්ධ බව අදහති. මෙම න්‍යායාත්මක ආකෘතියට අනුව බලන විට බෞද්ධයනට බෝධිය ශුද්ධ වස්තුවකි. බුදුබව ලැබීම හෙවත් සම්මා සම්බුද්ධත්වය අවබෝධය, ප්‍රඥාව ලැබීම සංකේතවත් කරන්නේ බෝධි සංකල්පයෙනි. මෙය ශුද්ධ ස්ථානවලින් එකක් ද වේ.ඒ අනුව බෝධි වන්දනාව යනු බුද්ධ වන්දනාවකි.නමුදු මෙම බෝධි වන්දනා ක්‍රම ශ්‍රී ලංකාවෙන් බැහැර ලොව අන් කිසිදු බෞද්ධ රටක දක්නට නැත.
මේ අතර බෝධිය පිළිබඳ විවිධ අද්භූත විශ්වාස ද නූතන සමාජය තුළ ගොඩනැගී ඇත. ඒ සියල්ල ඇතිවී තිබෙන්නේ පුරාතන ශුද්ධ වස්තු සංකල්පය නිසයි. බෝධි පූජාව වත්මන් සමාජයේ පොදු මානසික අවශ්‍යතා දාමයක් සංතෘප්ත කරන්නක් බව පැහැදිලි ය ඉන් ජන ජීවිතයේ යම් යම් වෙනස්කම් ඇති කිරීමට සමත්වන බව ද කිව යුතු ය.මෙම ඇදහීම ප්‍රවර්ධනය වීමෙන් පැහැදිලි වන්නේ බෝධි පූජාව සමකාලීන සමාජ අවශ්‍යතා සමඟ ඉදිරියට ගමන් කරන බවයි. බෝධි පූජා වැනි පුද පූජාවන් ජනතාව පන්සලට සම්බන්ධකර ගැනීමට බෙහෙවින් ඉවහල් වන බව පෙනෙයි.එය මුල් කොට බොහෝ භික්ෂුන් වහන්සේ ලා ද මෙය විවේචනය නොකරති. ගැමි බෞද්ධයාගේ දෛනික අවශ්‍යතාවන් වූ රෝග සුව කරගැනීම සෙත් ශාන්ති කරගැනීම, බලාපොරොත්තු ඉටු කරගැනීම වැනි විවිධ කටයුතු සඳහා ඔවුන් මුලදී ගියේ දෙවියන් වෙතටය. එහෙත්, බෝධි පූජාව ආරම්භ වීමත් සමඟ ඔවුන්ගෙන් බොහොමයක් බෞද්ධ සෙත් ශාන්තියක් වූ බෝධි පූජාව වෙත ඇදී ආහ. මෙහිදී බුදුගුණ, බුද්ධ බලය පිළිබඳ කිසියම් විශ්වාසයක් ඇති වී තිබෙන නිසා එය බෞද්ධ සංස්කෘතියේ, බුද්ධාගමේ දියුණුවට හේතුවක් බව මූලික වශයෙන් පෙනෙයි.
ඉහතින් සඳහන් කළ ආකාරයට බෞද්ධයා බෝධි පූජා පවත්වන්නේ හුදෙක් බුද්ධාභිවන්දනයක් ලෙසින්මද?යන්න පිළිබඳව ද යන්න අප විමසා බැලිය යුතුය. ලෙඩ සුව කරගැනීම වැනි කටයුතු සඳහා පමණක් නොව නඩු හබ ආදියෙන් දිනීම දේශපාලන ජයග්‍රහණ, විභාග සමත්වීම, විවාහය ඉක්මන්කර ගැනීම, දරුඵල ලබා ගැනීම ආදී නොයෙකුත් අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා ඔව්හු බෝධියේ පිහිට පතති. පැරණි බෞද්ධයෝ මේ සියල්ල දේවාලයෙන් අපේක්‍ෂා කළහ. එහිදී ඔවුන් උත්සාහ කළේ අදෘශ්‍යමාන බලවේගයක් පහදවා ගැනීමටයි. එහෙත්,නූතන බෞද්ධයා මේ උපකාරය බෝධියෙන් බලාපොරොත්තු වෙයි.ඒ බෝධියට අනියමින් දේවත්වයක් ආරෝපණය කිරීමෙනි. බදාදා සෙනසුරාදා යන කෙම්මුර දිනයන් හිදී බෝධි පූජා බහුලව සිදු වීම දින හත,විසි එක,හතලිස් නවය ආදී කාල නියමයන්ට අනුව බෝධි පූජා සැලසුම් කිරීම,හුදෙක් බෞද්ධ පූජා සම්ප්‍රදායන් නොවන බෝධිය පැන් වලින් ඇතැම් විට කිරි වලින් නැහැවීම, බෝධිය කේන්ද්‍ර කර ගත් සෙත් කවි ගායනා කර ගැනීම ආදී බෝධි පූජා සම්බන්ධ බොහෝ අභිචාර විධි හින්දු ආගමික චාරිත්‍ර හා සමාන වෙයි.වත්මන් ජනප්‍රිය බෝධි පූජා සම්ප්‍රදාය පින් සිත් වඩා ගැනීම කුසල් උපදවා ගැනීම යන බෞද්ධ සංකල්ප අභිබවා ගුප්ත ආකර්ශණ මඟින් තම දිවි පෙවෙත සරු කර ගැනීම පදනම් කර ගත් හින්දු ආගමික චාරිත්‍රයක් සේ අපට හැඟී යන්නේ එනිසා ය.                                                 කදුරුපොකුණේ සුමංගල හිමි

පහන් ටැඹ