ජ`පුර රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරියක් ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ්

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරියක් ඇතුළු තුන්දෙනෙකු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.ඒ ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් අදාළ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් තුන්දෙනා එම කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ (17) රාත්‍රියේ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල හමුවට ඉදිරිපත් කර තිබුණි.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරියක්, එම රෝහලේ කළමණාකාර සහකාරවරයෙකු සහ තවත් සිවිල් පුද්ගලයෙකු ඊයේ (17) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිය.
ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ස්නායු ශල්‍ය වෛද්‍ය කටයුතු සඳහා අවශ්‍ය උපකරණ වාර්ෂික ඇස්තමේන්තුවට ඇතුළත් නොකර රෝහලේ කාර්ය්‍ය මණ්ඩලය හා අදාළ ශල්‍ය වෛද්‍යවරිය යටතේ පාලනය වූ බාහිර ආයතන මගින් එම උපකරණ ලබාගැනීම සඳහා උපදෙස් ලබාදීම යටතේ යි.එමෙන්ම රෝගි පාර්ශවයට පාඩුවක් හා තමාට හෝ බාහිර පාර්ශවයකට අයුතු සහගත ලාභයක් ලබාගැනීමට එම අයිතම රෝහලේ සැපයුම් අංශය මගින් ඉල්ලුම් නොකිරීම තුළින් රෝහලට පාඩු සිදු කිරීම සම්බන්ධව දූෂණය නම් වරද සිදුකිරීම පිළිබඳව විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය අත්අඩංගුවට ගෙන තිබේ.අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා ඇත.එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කළේය.

කාලීන පුවත්