ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට එරෙහිව පොලිස්පති “පොලීසි යයි”

පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට එරෙහිව ජාතික පොලිස් කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ. මේ වන විට පොලිස් මූලස්ථානයේ වගකිව යුතු ඉහළම තනතුරක් හොබවන මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මාරු කර යවා ඔහු සම්බන්ධ විනය පරීක්ෂණයක් සිදුකරන ලෙසට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ. තමන් ඇතුළු උසස් නිලධාරීන් සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු සමාජ මාධ්‍යයට ලබා දීම හා පොලිසියේ අතිශය රහසිගත අභ්‍යන්තර ලිපිගොනු බාහිර පාර්ශ්වයන් වෙත ලබාදීමට අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කටයුතු කොට ඇති බවට අනාවරණය වීම මත පොලිස්පති වරයා මෙම පියවර ගෙන ඇත.එමෙන්ම මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු බවට පවසන පුද්ගලයෙකු සමඟින් පොලිස්පතිවරයා සහ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් නිර්මාණය කළ බව පැවසෙන හඬපටයක් ද පොලිස්පති වරයා ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත යොමු කර තිබේ.ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් හා අදාළ හඬපටයේ දුරකථන සංවාදය සිදුකළ බව කියන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකුගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.එමෙන්ම මෙම සිද්ධියට අදාළව එම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව පැවසෙයි.

කාලීන පුවත්