ජාතික ජන බලවේග රජයේ දෙවැනි අය-වැය ලේඛනය මුදල් අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (7) පස්වරු 1.30 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය. එමෙන්ම සෙනසුරාදා (08දා) සිට දෙසැම්බර් 05දා දක්වා අය-වැය විවාදය පැවැත්වීමට නියමිතය.ජනාධිපතිවරයාගේ අය-වැය කතාවෙන් අනතුරුව 08 වැනිදා සිට 14 වැනිදා දක්වා දින 6ක් අය-වැය දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්වේ. ඒ අනුව නොවැම්බර් 14දා පස්වරු 6.00ට දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ.ඉන්පසු නොවැම්බර් 15දා සිට දෙසැම්බර් 05දා දක්වා දින 17ක් කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වෙන අතර දෙසැම්බර් 05 වැනිදා පස්වරු 6.00ට අය-වැය තෙවනවර කියැවීමේ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.මෙම කාලසීමාවේ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දින ඇතුළුව සෑම දිනකම අය-වැය විවාදය පැවැත්වේ. එසේම කාරක සභා අවස්ථාවේ විවාද කාලසීමාවේ පාර්ලිමේන්තුව සඳුදා දිනවල පෙ.ව 9.30ටත් අන් සෑම දිනකම පෙ.ව 9.00ටත් පාර්ලිමේන්තුව රැස්වේ.2026 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434කි. එළැඹෙන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතින් වැඩිම මුදල් ප්‍රමාණයක් වන රුපියල් බිලියන 634ක් වෙන් කොට ඇත්තේ මුදල් අමාත්‍යාංශයටය.2025 ජනාධිපති වැය ශීර්ෂය වූ රුපියල් බිලියන 2.7ක මුදල 2026 අය-වැය සඳහා රුපියල් බිලියන 11ක් දක්වා වැඩි කර ඇත. ඒ අනුව ලබන වසරේ බිලියන 8ක වැඩි වීමක් පෙන්නුම් කරයි.විශේෂයෙන්ම ලබන වසරට දේශීය හා විදේශීය වශයෙන් ලබාගන්නා ණය උපරිම ප්‍රමාණය රුපියල් බිලියන 3,800කි.මුදල් අමාත්‍යාංශයට පසුව වැඩිම මුදල පිළිවෙළින් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට රුපියල් බිලියන 618ක්ද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට රුපියල් බිලියන 596ක්ද සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් බිලියන 554ක්ද ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 455ක්ද අය-වැයෙන් වෙන්කොට ඇතැයි පැවසෙයි.එමෙන්ම ලබන වසරේ පැවැත්වෙන පළාත් සභා මැතිවරණය ද ඉලක්ක කර ගනිමින් මෙම අය-වැය මඟින් ජනතාවට යම් යම් සහනයන් ද හිමි වනු ඇති බව විචාරක මතයයි.