ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සියලුම මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.ඒ ගුවන් මගීන්ගේ, ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලයේ සහ ගුවන් සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් බව ප්‍රකාශ වී තිබේ. මේ සමඟම එමිරේට්ස් ගුවන් සේවය ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ඩුබායි වෙත සහ ඉන් පිටතට ගමන් ගන්නා සියලුම ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු නවතා දමා ඇති බවයි.2026 මාර්තු 7 වැනි සෙනසුරාදා එක්සත් අරාබි එමීර් රාජ්‍ය වේලාවෙන් රාත්‍රී 11:59 දක්වා මෙම තීරණය ක්‍රියාත්මක වන බව ගුවන් සේවය වැඩිදුරටත් තහවුරු කර ඇත.
මෙම හදිසි තීරණයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ මැදපෙරදිග කලාපය තුළ, විශේෂයෙන් ඉරානය, අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සම්බන්ධ ගැටුම් හේතුවෙන් නිර්මාණය වී ඇති යුධමය වාතාවරණය සහ කලාපීය ගුවන් කලාප වසා දැමීම බව පැවසෙයි. ඩුබායි ගුවන්තොටුපළ ආශ්‍රිතව ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති බවට එක්ස් (X) වැනි සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කටකතා පැතිර ගිය ද, නිල ආරංචි මාර්ග තහවුරු කරන්නේ මෙම ගුවන් ගමන් අත්හිටුවීම සම්පූර්ණයෙන්ම කලාපීය ගුවන් සීමා තහනම් කිරීම් මත පදනම් වූවක් මිස එවැනි තත්වයක් නිසා ගත් තීරණයක් නොවන බවකි.