මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් මහත්මිය එම නඩුවෙන් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය ඊයේ (25) නියෝග කොට තිබේ.ඒ මෙම නඩුව ඊයේ කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී ය.විත්තිකාර ඩේසි ෆොරස්ට් නඩු විභාගයකට මුහුණදීමට සුදුසු මානසික තත්ත්වයක නොමැති බවත්, ඒ අනුව ඇය නිදහස් කරන ලෙසත් ඇයගේ නීතිඥවරුන් මීට පෙර අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණි. ඒ අනුව අදාළ විත්තිකාරියගේ මානසික තත්ත්වය පිළිබඳව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා මාර්ගයෙන් වාර්තාවක් කැඳවීමට ද විනිසුරුවරයා නියෝග කොට තිබිණ.ඒ අනුව නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ඩේසි ෆොරස්ට් මහත්මිය නඩු විභාගයකට මුහුණදීමට සුදුසු මානසික තත්වයක පසු වනවාද? යන කරුණ පිළිබඳ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා මගින් කැඳවා තිබූ විශේෂ මානසික වෛද්‍ය වාර්තාව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.විත්තිකාරිය නඩු විභාගයකට මුහුණදීමට සුදුසු මානසික තත්ත්වයක් නොමැති බවට එම වාර්තාව තුළින් වෛද්‍යවරුන් නිර්දේශ නිකුත් කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.එම කරුණු සලකා බැලූ විනිසුරුවරයා ඩේසි ෆොරස්ට් මහත්මියට එරෙහිව තිබූ අධිචෝදනාවලින් ඇය නිදහස් කරන ලෙස නියෝග කළේය.ඉන් අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මෙම නඩුව මාර්තු මස 27 වනදා කැඳවන ලෙස විනිසුරුවරයා නියෝග කළේය.රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් අයථා ලෙස අත්පත් කරගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් යෝෂිත රාජපක්ෂ මහතාට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.එමෙන්ම මෙම නඩුව සඳහා ජන මාධ්‍ය මඟින් පුළුල් ප්‍රචාරයක් ලබා දී තිබූ අතර එහි දී ඩේසි ෆොරස්ට් මහත්මිය වඩාත් ප්‍රචලිත වූයේ “ඩේසි ආච්චි”යන නමිනි.