ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමේ 16 වැනි ජාතික රණවිරු සැමරුම හෙට

පුරා තිස් වසරක් මුළුල්ලේ මෙරට පැවති ලොව බිහිසුණුම ත්‍රස්ත කණ්ඩායමක් විසින් දියත් කරන ලද එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට වසර 16ක් සපිරීම නිමිත්තෙන් එම විජයග්‍රහණයට උර දුන් වීරෝදාර රණවිරුවන් සිහිපත් කෙරෙන 16 වැනි ජාතික රණවිරු සැමරුම් උත්සවය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (19) පස්වරු 4 සිට 6 දක්වා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිත ය.මේ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී නොවන අතර එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය නිමා කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සේනාධිනායකත්වය යටතේ ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබාදුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන මහතුන් ද මීට එක් වීමට සහභාගී වීමට නියමිතය.
2009 වසරේ මැයි මස 18 වැනි දින පුදුකුඩිරිප්පු, නන්දිකඩාල් කලපුව ආසන්න ප්‍රදේශයේදී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය වීමත් සමඟින් දශක තුනකට අධික කාලයක් උතුරු, නැගෙනහිර මෙන්ම මෙරට ත්‍රස්තවාදයෙන් ඇවිලූ එල්.ටී.ටී.ඊ සංවිධානයේ මෙන්ම යුද්ධයේ ද නිමාව සනිටුහන් විය.ලොව විශාලතම මානුෂිය මෙහෙයුම ක්‍රියාත්මක කරමින් එල්.ටී.ටී.ඊ ප්‍රාණ ඇපයේ සිටි සිවිල් වැසියන් දහස් ගණනක් මුදාගැනීමට ආරක්ෂක අංශ සමත් වීම ද විශේෂත්වයකි
දේශයේ භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරීත්වය වෙනුවෙන් දිවිහිමියෙන් සටන් වැද දිවි පිදූ හා අතුරුදන් රණවිරුවන්ට ගෞරවය පිරිණැමීම සදහා වාර්ෂිකව මෙම සැමරුම් උත්සවය පැවැත්වෙන අතර දේශප්‍රේමී ජාතික පෙරමුණ ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඉල්ලීමක් කළේ ජාතික රණවිරු දින සැමරුමට සමගාමීව අද දිනයේ සෑම නිවසකම ජාතික කොඩියක් එසවීමට පියවර ගන්නා ලෙසයි.

කාලීන පුවත්