දකුණු කොරියාවේ බලු මස් අනුභවය අවසන් කිරීමට නීතියක්; සුනඛයන්ට ආදරය කරන ජනාධිපතිගේ අරමුණ ඉටු වෙයි

බලු මස් අනුභව කරන රටවල් අතර දකුණු කොරියාව ඉදිරියෙන්ම සිටින රටකි. මස් පිණිස සුනඛයන් ඇති කිරීම, විකිණීම, මැරීම, බලු මස් අලෙවිය එරට ප්‍රධාන කර්මාන්ත ලෙස සැලකේ. කෙසේ හෝ වේවා, ළඟදීම මෙම තත්ත්වයෙහි වෙනසක් සිදු වීමට යන බවක් පසුගිය දා මාධ්‍ය හරහා වාර්තා විය.

මස් පිණිස සුනඛයන් ඇති කිරීම, විකිණීම සහ මැරීම තහනම් කරමින් නීතියක් සම්මත කිරීමට දකුණු කොරියානු පාර්ලිමේන්තුව පසුගිය සතියේ පියවර ගත්තේය. ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ද මෙයට පක්‍ෂව ඡන්දය දී තිබිණි. කෙසේ නමුත් දැනට මෙම කර්මාන්තවල නිරත වන අයට වෙනත් ආදායම් මාර්ග සොයා ගැනීම සඳහා තව වසර තුනක කාලයක් ලබා දීමට තීරණය කර තිබේ. ඒ අනුව ඉහත කී නීතිය ක්‍රියාවට නැංවෙනු ඇත්තේ 2027 වසරේ සිට යි. මස් පිණිස සුනඛයන් ඇති කරන ගොවිපල සහ සුනඛයන් මරන ස්ථාන 2027 වසරේ සිට වසා දැමීමට සිදුවනු ඇත. මේ අනුව එරට තුළ බලු මස් අනුභවය තව නොබෝ කලකින් අභාවයට යනු ඇතැයි අපේක්‍ෂා කළ හැකිය.

මේ වනවිට දකුණු කොරියාවේ තරුණ පරපුර බලු මස් අනුභවයට කොහොමටත් එතරම් කැමැත්තක් නොදක්වන බවක් ද අනාවරණය වේ. සත්ත්ව අවිහිංසාව ගැන සහ සතුන්ගේ අයිතීන් ගැන තරුණ පරපුරේ අය බෙහෙවින් දැනුම්වත්ව සිටීම මෙයට එක් හේතුවකි. එමෙන්ම නිවෙස්වල සුරතල් සුනඛයන් ඇති දැඩි කිරීම ද දකුණු කොරියාව තුළ බෙහෙවින් ජනප්‍රිය වෙමින් ඇති ප්‍රවණාවක් ලෙස සැලකේ. මේ නිසා සුනඛයන් දැන් බොහෝ දෙනෙකුට පවුලේ සාමාජිකයන් ලෙසම දැනෙන්නට පටන් ගෙන තිබේ.

“සුනඛයන් සුරතලුන් ලෙස ඇති කරන පිරිස රට තුළ වැඩි වෙමින් තිබෙනවා” 22 හැවිරිදි ශිෂ්‍යාවක වන ලී චේ-යොන් පවසා තිබුණාය. “සුනඛයන් කියන්නේ දැන් අපේ පවුල්වලම සාමාජිකයන් විදියටයි අපට දැනෙන්නේ. පවුලේ කෙනෙකුගේ මස් කන එක හොඳ දෙයක් නෙවෙයි” ඇය තවදුරටත් පවසා තිබිණි.

දකුණු කොරියාව තුළ බලු මස් අනුභවය සම්බන්ධයෙන් 2022 වසරේ එක්තරා සමීක්‍ණයක් සිදු කර තිබිණි. එම සමීක්‍ෂණයට අනුව ඊට පෙර මාස 12 ක කාලය තුළ බලු මස් අනුභව කර තිබුණේ සමීක්‍ෂණයට සහභාගි වූවන්ගෙන් සියයට 8 ක් පමණි. 2015 වසරේ මෙම ප්‍රතිශතය සියයට 27 ක් වූ බව සඳහන් වේ. ඉහත සමීක්‍ෂණයට සහභාගි වූවන්ගෙන් සියයට 64 ක්ම බලු මස් අනුභවයට විරුද්ධව අදහස් පළ කර තිබිණි. දැනට වැඩිපුර බලු මස් අනුභව කරන්නේ කාලයක් තිස්සේ ඊට හුරු වී සිටින වැඩිහිටි පරපුරේ අය බව සමීක්‍ෂණවලින් හෙලි වී තිබේ.

මස් පිණිස සුනඛයන් මැරීමට, ඇති කිරීමට සහ විකිණීමට එරෙහිව පසුගිය කාලයේ හඬ නැගූ අය අතර දකුණු කොරියාවේ ජනාධිපති යූන් සුක් යෝල් සහ ඔහුගේ බිරිඳ කිම් කෝන්-හී ද ඉදිරියෙන්ම සිටිති. ඔවුහු සුනඛයන්ට සහ බළලුන්ට බෙහෙවින් ආදරය කරන යුවලක් ලෙස ප්‍රසිද්ධියක් උසුළති. මාධ්‍ය සඳහන් කරන්නේ ජනාධිපතිවරයාගේ නිවසේ සුරතල් සුනඛයන් සය දෙනෙකු සහ බළලුන් ද කිහිප දෙනෙකු සිටින බවයි. සුරතලුන් වැඩිම ගණනක් සිටි දකුණු කොරියානු ජනාධිපතිවරයා ලෙස ද ඔහු මේ වනවිට වාර්තාවක් පිහිටුවා තිබේ.

සත්ත්ව අවිහිංසාව වෙනුවෙන් පෙනී සිටින එරට දේශීය සංවිධාන මෙන්ම ජාත්‍යන්තර සංවිධාන ද දැන් කාලයක සිටම බලු මස් කර්මාන්තයට සහ අනුභවයට එරෙහිව හඬ නගමින් සිටියි. සමහර ජාත්‍යන්තර සංවිධාන මස් පිණිස සුනඛයන් ඇති කරන දකුණු කොරියානු ගොවිපලවලින් සුනඛයන් මිල දී ගෙන වෙනත් රටවලට ගෙනයාම වැනි පියවර පවා ගත් බව සඳහන් වේ.

පසුගිය දා සම්මත වූ නීතියට අනුව මස් පිණිස සුනඛයන් මැරීම වෙනුවෙන් වසර තුනක සිර දඬුවමක් නියම කිරීමට හැකියාව තිබේ. ඊට අමතරව කොරියන් වොන් මිලියන 30 ක උපරිම දඩයකට ද යටත් කළ හැකිය. එය ශ්‍රී ලංකා රුපියල් මිලියන 7 කට ආසන්න දඩයකි. මස් පිණිස සුනඛයන් ඇති කරන, විකුණන. ප්‍රවාහනය කරන අයට වසර දෙකක සිර දඬුවමක් නියම කිරීමට හැකියාව තිබේ. ඊට අමතරව දඩයක් අය කිරීමට ද හැකියාව ඇති බව වාර්තා වේ.

පසුගිය වසරේ පළ වූ වාර්තාවකට අනුව දකුණු කොරියාව තුළ බලු මස් අලෙවි කරන අවන් හල් 1,600 ක් පමණ තිබේ. මස් සඳහා සුනඛයන් ඇති කරන ගොවිපල 1,150 ක් ඇති බව ද එම වාර්තාව සඳහන් කර තිබිණි. මෙම ව්‍යාපාරිකයන්ට වෙනත් ආදායම් මාර්ග සොයා ගැනීම සඳහා උදව් කිරීමට රජය පියවර ගනිමින් සිටියි.

බලු මස් අනුභවය සිදුවන තවත් රටවල් කිහිපයක්ම ආසියානු කලාපය තුළ වෙයි. තායිලන්තය, ඉන්දුනීසියාව, චීනය, පිලිපීනය, ලාඕසය, කාම්බෝජය, වියට්නාමය ඉන් කිහිපයකි. ඉන්දියාවේ ද ඇතැම් ප්‍රදේශවල මෙය දැකිය හැකි වේ.

නිහාල් පීරිස්

සතුන්ටත් හිමි අපේ ලෝකය