මරඟනක් සේ පෙනුණු උමා ඔය සංවර්ධන කොමළිය සුරඟනක් වේද?

vinivida

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මගින් ජාතික විදුලිබල පද්ධතියට අලුතින් මෙගාවොට් 120ක විදුලි ඒකක ධාරිතාවක් එක් කිරීම හේතුවෙන් එහි වාසිය විදුලි පාරිභෝගිකයන්ට ලබාදීමට හැකියාව පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.ඒ අනුව එම වාසිය ලබන ජුලි මාසයේ සිට විදුලි ගාස්තු සංශෝධනයට සමගාමීව ලබා දීමට අපේක්ෂා කරන බව ද ඔහු පවසයි.මෙය බොහෝ දෙනකු තුළ සතුට ඉක්මවා විමතිය ඉස්මතු කරන කරුණක් වී තිබේ.උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ව්‍යාපෘතිය 2017 වසරේ දී ජනතා අයිතියට පත් කිරීමට තිබුණත් එය සිදු කිරීමට නොහැකි වීමෙන් වාර්ෂිකව රුපියල් කෝටි 900ක පාඩුවක් ලංකා විදුලිබල මණ්ඩලයට සහ රටට සිදු වූ බව ද කංචන විජේසේකර අමාත්‍යවරයා පවසයි. කෙසේ වෙතත් උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හරහා ජාතික පද්ධතියට අලුතෙන් එකතු වූ විදුලි ඒකක ප්‍රමාණය නිසා මින් පෙර ඉන්ධන භාවිතයෙන් විදුලි උත්පාදනය සඳහා වූ වියදම සිදු නොවන බැවින් එහි සහනශීලී වාසිය විදුලි පාරිභෝගිකයින්ට ලබා දීමට හැකියාව පවතින බව වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කරයි.බොහෝ දෙනකුගේ අතින් ගිලිහී යන්නක් වුව ද මෙය මඳක් විමසා බැලිය යුතු මාතෘකාවකි.

උමා ඔය යනු මෙරට සංවර්ධන යෝජනා ක්‍රම අතුරින් කලබැගෑනි රැසකට මුල් වූ ව්‍යාපෘතියකි.එමෙන්ම එම කලබෑගෑනිය තවමත් නිමාවී නොමැති බව උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියට එරෙහි උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු හිටපු ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න බීබීසී සිංහල සේවයට පැවසු මෙම ප්‍රකාශයෙන් පැහැදිලි ය.”අපිට නිල නොවෙන විදියට වාර්තා වෙනවා ඩයරබා ජලාශයේ සිට ඇතුළු කරන ජල ප්‍රමාණය කරඳගොල්ලෙන් පිට කිරීමේ දී සැලකිය යුතු අඩු වීමකට ලක්වෙනවා කියලා. ඒ නිසා වැස්ස නැතුවත් නාය යන්නේ මේක නිසාදැයි සැක මතුවෙනවා”ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයේ නාය යාම සම්බන්ධයෙන් පසුගිය දා ඔහු කියා තිබේ.එහෙත්, ඊට පිළිතුරු දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසා ඇත්තේ සමන්ත විද්‍යාරත්න පැවසූ උමා ඔය උමඟේ “හිල” සෙවීම ඔහුටම භාර දිය යුතු බවකි.

ඒ අතර මේ වන විට ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයේ සක්‍රිය වී ඇති නාය යාමේ අවදානම් තත්වය උමා ඔය ව්‍යාපෘතිය නිසා සිදුවූවක් නොවන බවට පලපුරුදු භූ විද්‍යාඥයන් පිරිසක් විසින් සිදු කරන ලද පරීක්ෂණයකදී තහවුරු වී ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න කියයි. පසුගිය 05 වන දා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පලපුරුදු භූ විද්‍යාඥයන් පිරිසක් එම ප්‍රදේශයේ ගවේෂණයක නිරත වීමෙන් අනතුරුව ඒ බව තහවුරු කරගෙන ඇති බවකි. එම කඳුකර බිම් වල ජීවත්වන ජනතාවගේ අවිධිමත් භූමි පරිහරණය හේතුවෙන් ජලය අනිසි ලෙස ඒකරාශී වීමක් මෙම නාය යාමට හේතු වී ඇති බවට අනාවරණය වීමෙන් පසු එම ජලය ඉවත් කිරීමට කටයුතු කළ බවත් ඊට අමතරව එම ප්‍රදේශයේ බරපතළ තත්වයක් නොමැති බවත් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා අවධාරණය කරයි.

උමා ඔය ව්‍යාපෘතියේ බොහෝ ගැඹුරින් ගමන් කරන භූගත ජල මාර්ගයේ ජලය පොළොව මතුපිට පෘෂ්ඨයට පැමිණීමට තරම් ජල පීඩනයක් ඇති නොවන බවත්, එවැනි දරා ගත නොහැකි පීඩනයක් ඇති වුවහොත් එම ජලය ආරම්භක ජලාශය කරා ආපසු ගමන් කරනු විනා පොළොව මතු පිටට ඒමක් ඇති නොවන බවත් සහතිකවම කිව හැකි බව පවසන මහාචාර්යවරයා වැඩි දුරටත් අවධාරණය කරනුයේ උමා ඔය ව්‍යාපෘතිය භූගත ජල මාර්ගයේ එවැනි ජල පීඩනයක් ඇතිවීමට හේතු නොමැති බවයි .ඒ පිළිබඳව එම ප්‍රදේශයේ ජනතාව බිය විය යුතු නොමැති බවත්,මේ වන විට එම ප්‍රදේශයේ උමා ඔය ව්‍යාපෘතිය ව්‍යාපෘතිය මුල් කොට හටගත් අවදානමක් නොමැති බවත් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා වැඩිදුරටත් අවධාරණය කොට ඇත. මේ අතර නායයෑමේ අවදානමට ලක්ව ඇති ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයේ භූමිය තුළ සිරවී ඇති ජලය ඉවත් කිරීම සඳහා අදාළ උපකරණ සවිකිරීම මේ වන විට ආරම්භ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.ඒ අනුව එම කටයුතු අවසන් කිරීම සඳහා දින කිහිපයක් ගතවනු ඇති බවක් එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන සඳහන් කරයි.කෙසේ වෙතත් නායයෑමට ලක් විය හැකි බවට හඳුනාගෙන ඇති ප්‍රදේශයේ ජලය මුදාහැරීම සඳහා භූ ස්ථායිතාව සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමර්ග මේ වන විට ගෙන ඇති බව ද හෙතම ප්‍රකාශ කරයි.

2008 වසරේ අරඹන ලද උමා ඔය බහුකාර්යය ව්‍යාපෘතිය ජනතාව තුළ සොඳුරු මතකයන් ශේෂ කළ කටයුත්තක් නම් නොවේ.එහි භූගත උමං කැණීම හා වේලි ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, හාලි ඇල, වැලිමඩ හා ඇල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජීවත් වන පවුල් 650 කගේ පමණ නිවාස විනාශ වී ජනතාව අවතැන් වී ළිං සම්පූර්ණයෙන් ම සිඳී ගොස් දැවැන්ත ජල අර්බුද උද්ගත වූ බව වාර්තා විය.

දැනට සක්‍රියව පවතින නායයෑම් තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් ඇල්ල – වල්ලවාය මාර්ගයට පවා දැඩි බලපෑම් එල්ලවිය හැකි බැවින් එය ආරක්ෂා කර ගැනීමට ප්‍රමුඛතාවය ලබා දෙමින් කටයුතු කරන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කරයි.තාක්ෂණ ඉංජිනේරුවන්, භූ විද්‍යාඥයින්, පරිසර විශේෂඥයින් ඇතුළු එම ප්‍රදේශයට ගොස් සමීක්ෂණ සිදුකර ගුවන් ඡායාරූප සහ සිතියම් විශ්ලේෂණය කරමින් මෙම ප්‍රදේශය මීට පෙර ද නායයෑම් කලාපයක් බවට නිගමනය කර ඇති බව ද ඔහු සඳහන් කොට තිබේ.ඒ අනුව එය එතරම් බිය ජනක තත්වයක් නොවන බව පෙනෙයි. ඒ අතර උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව එය මුල් කොට ගත් නායයාමක් හෝ වෙනත් ගැටළුකාරී තත්වයක් මෙතෙක් වාර්තා වී නොමැති බවත් වර්ෂාපතනය සමඟ ඇති වන තාවකාලික දිය ඇලි පෙන්වමින් ඇතැමුන් පටු දේශපාලනික වාසි තකා ජනතාව නොමඟ යැවීමට උත්සාහ දරණ බවත් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ හේරත් කියා සිටියි. වර්තමාන තත්වය එසේ වුවත් 2008 වසරේ අරඹන ලද උමා ඔය බහුකාර්යය ව්‍යාපෘතිය ජනතාව තුළ සොඳුරු මතකයන් ශේෂ කළ කටයුත්තක් නම් නොවේ.එහි භූගත උමං කැණීම හා වේලි ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, හාලි ඇල, වැලිමඩ හා ඇල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජීවත් වන පවුල් 650 කගේ පමණ නිවාස විනාශ වී ජනතාව අවතැන් වී ළිං සම්පූර්ණයෙන් ම සිඳී ගොස් දැවැන්ත ජල අර්බුද උද්ගත වූ බව වාර්තා විය.

මධ්‍යම පරිසර අධිකාරිය විසින් ජාතික පාරිසරික පනත උල්ලංඝණය කරමින් නීති විරෝධී ලෙස උමා ඔය බහුකාර්යය ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබා දීම හේතුවෙන් මකුල්ඇල්ල, හීල් ඔය, කුරුකුදේ, බැද්දෙඅරාව, ලියන්ගහවෙළ, වෙහෙරගලතැන්න, කුරුඳු ගොල්ල, එගොඩගම, උඩපේරුව, මැදපේරුව, අම්පිටිය, පල්ලෙපේරුව, කරගහවෙල, බොරලන්ද, රජකොටුව, පුහුල්පොළ, දික්කාපිටිය, ඉහළ කොටවර, පහළ කොටවර, අඹදණ්ඬේගම හා අභයපුර යන ගම්මාන වල පවුල් 650 ක් පමණ ළිං ජලය සම්පූර්ණයෙන් ම අහිමි වීමෙන් හා ගෙවල් ඉරිතලා කඩා වැටීමෙන් බරපතල විනාශයක් ඇති වී ඇති බවටත් උමං කැනීම හේතුවෙන් භූමිය ඉරිතලා ගොඩනැගිලි වලට හානි සිදු වී ගිලා බැසීම් සිදු වී ඇති බවත් බණ්ඩාරවෙල, මකුල් ඇල්ල විද්‍යාලය වසා එම පාසල විහාරස්ථානයක බණ මඩුවේ හා ප‍්‍රජා ශාලාවක පවත්වාගෙන බවටත් 2015 දී පමණ අසන්නට ලැබිණ. ඒ අතර බණ්ඩාරවෙල, බැද්දෙඅරාව ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටි මඩුවෙගෙදර ග‍්‍රාමයේ නිවාස 20 ක් පමණ සම්පූර්ණයෙන් ම විනාශ වී ඩයරබා වේල්ල හා සම්බන්ධ උමඟ කැණීම ආරම්භයත් සමඟ ම හාලිඇල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කුරුකුදේ ගමේ වගා බිම් හා මාර්ග සම්පූර්ණයෙන් ම ගිලා බැස නායේ යෑමට ලක් ව ප‍්‍රධාන භූගත උමඟ කැණීම් කළ අඹදණ්ඬේගම ප‍්‍රදේශය ද භූ පැලූම් ඇති වෙමින් ගිලා බසිමින් පවතින බවටත් එවක වාර්ත පළ විය.ඉන් එම ප්‍රදේශවල ජනතාව බරපතල පීඩාවට ලක් වූ අතර ඔව්හු මහ මඟට බැස රටට දුක කියමින් හඬා වැටෙන තත්වයට පත් වූහ.

විදුලි නිෂ්පාදනයේ දී 70%ක් ජලය, සූර්ය සහ සුළං ආශ්‍රිත විදුලි බලාගාර වැනි පුනර්ජනනීය බලශක්තියෙන් ලබාගැනීම සඳහා රජය ප්‍රතිපත්තිමය තීන්දුවකට එළඹ ඇති අතර පුනර්ජනනීය බල ශක්ති ප්‍රභවයන් ප්‍රවර්ධනය කෙරෙහි ද උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මඟින් ලැබී ඇති පිටිවහල සුළුපටු නොවන බවක් ද කියනු ලැබේ.එහි දී එම උත්සාහය ව්‍යවර්ථ කිරීමට වෙර දරන පුනර්ජනනීය නොවන බලශක්ති සැපයුම් කරුවන්ගේ මාෆියාවන් විසින් සිදු කරන මුදල් පොම්ප කිරීම් පිළිබඳ තහවුරු නොවූ තොරතුරු යම් ප්‍රමාණයක් ද ඒකරාශී වී ඇතැයි ද දැනගන්නට ඇත.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මුල් කොට විකල්ප දේශපාලන කණ්ඩායම් විසින් “උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා ව්‍යාපාරය” නම් සංවිධානයක් පිහිටුවා ව්‍යාපෘතියට එරෙහිව ජනතාව පෙළ ගස්වන්නටත් ජන අරගල සංවිධානය කරන්නට වූයේ එම පසුබිම යටතේ ය.ඒ අනුව එම ව්‍යාපෘතිය භාරව කටයුතු කළ ෆරාබ් සමාගම පරිසරවේදීන් ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය.ඒ සම්බන්ධයෙන් සමහරුන් කීයේ සැත්කමක් කළ යුතු තැන එම්බාම් එකක් කරන්නාක් මෙන් ෆරාබ් සමාගම එහි උමං තැනීම මෙම සියළු විනාශයන්ට හේතුව බවකි.ඒ අනුව උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිසා හානියට පත් වූවනට රජයෙන් වන්දි ලබා දී 2017 වසරේ එය තාවකාලිකව නවතා දමන ලදී.නමුත් ෆරාබ් සමාගම එවන් කටයුතු සම්බන්ධයෙන් ජාත්‍යන්තර පිළිගැනීමට ලක් වූ ආයතනයක් බව ජාත්‍යන්තර උමං මාර්ග හා භූ ගර්භ අවකාශ සංගමයේ(ITA ) ප්‍රමිති සහතික ලත් ආයතනයක් බවත් පසුව ප්‍රකාශ විය.එම අති නවීන තාක්ෂණික ක්‍රම පිළිබඳ නොදත් අප රටේ බොහොමයක් ඒ සමයේ එම කටයුතු කෙරෙහි බියපත් වූ බව ද පසුව අසන්නට ලැබිණ. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීම පිණිස විදෙස් ගමන් කෙරෙහි එතරම් රුචි නොවන ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහම් රයිසි පසුගිය දා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සම්බන්ධ වීම ව්‍යාපෘතියේ ගුණාත්මක බවට අනියමින් දිය හැකි තත්ව සහතිකයක් බව රජයේ ආරංචි මාර්ග කියයි. ඒ කෙසේ හෝ අතරමඟ එළඹි අනේක විධ බාධක කම්කටොළු නිසා මේ වන විට උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය අවසන් කිරීම නියමිත කාලයට වඩා වසර හතක් පමණ ප්‍රමාද වී තිබේ. මෙම ව්‍යාපෘතියේ මූලික ඇස්තමේන්තු මුදල ඩොලර් මිලියන 529ක් ලෙස සටහන් වූ නමුත් ගෙවුණු වසර හත උමා ඔය ව්‍යාපෘතිය ආශ්‍රිත විදුලි උත්පාදනය ජාතික පද්ධතියට එක්කර ගැනීමට නොහැකි වීම නිසා මෙම ව්‍යාපෘතියට ඇස්තමේන්තු ගත මුදල හා සමාන පාඩුවක් දැරීමට සිදු ව ඇතැයි රජය කියයි.

නමුත් අද වන විට එම තත්වයේ සැලකිය යුතු වෙනසක් සිදුව තිබේ. විදුලි නිෂ්පාදනයේ දී 70%ක් ජලය, සූර්ය සහ සුළං ආශ්‍රිත විදුලි බලාගාර වැනි පුනර්ජනනීය බලශක්තියෙන් ලබාගැනීම සඳහා රජය ප්‍රතිපත්තිමය තීන්දුවකට එළඹ ඇති අතර පුනර්ජනනීය බල ශක්ති ප්‍රභවයන් ප්‍රවර්ධනය කෙරෙහි ද උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මඟින් ලැබී ඇති පිටිවහල සුළුපටු නොවන බවක් ද කියනු ලැබේ.එහි දී එම උත්සාහය ව්‍යවර්ථ කිරීමට වෙර දරන පුනර්ජනනීය නොවන බලශක්ති සැපයුම් කරුවන්ගේ මාෆියාවන් විසින් සිදු කරන මුදල් පොම්ප කිරීම් පිළිබඳ තහවුරු නොවූ තොරතුරු යම් ප්‍රමාණයක් ද ඒකරාශී වී ඇතැයි ද දැනගන්නට ඇත.මේ සියළු තත්වයන් හමුවේ වුව කලින් මරඟනක් සේ පෙනුණු උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මේ වන විට සුරඟනක් සේ පෙනෙන්නට පටන් ගෙන ඇති බවක් පෙනෙයි.එහෙත්, ඒ සම්බන්ධයෙන් නිවැරදි හා සාධාරණ විනිශ්චයක් ලබා දීමට තව ටිකක් කල් ගත විය යුතු බව අප ගේ වැටහීමය.

රේණුකා දමයන්ති

එතෙර - මෙතෙර