ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ව්ලැදිමීර් පුටින් ගැන අලුත්ම චිත්‍රපට දෙකක්

ලෝකයේ ආන්දෝලනාත්මකම දේශපාලන නායකයන් දෙදෙනකු වන ඇමරිකාවේ ඩොනල්ට් ට්‍රම්ප් සහ රුසියාවේ ව්ලැදිමීර් පුටින් ගැන චිත්‍රපට දෙකක් නිර්මාණය වී තිබෙනවා. මේවා ගැන මේ දිනවල විශාල කතාබහක් ඇතිව තිබෙන ආකාරයත් දැකිය හැකියි.

හිටපු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් ගැන නිර්මාණය වී ඇති සිනමාපටයේ නම The Apprentice . මෙය ලබන 14 වැනි දින ආරම්භ වන ප්‍රංශයේ කාන් සිනමා උළෙලේ දී පළමු වරට ප්‍රදර්ශණය වීමට නියමිතයි. කාන් සිනමා උළෙල ලෝකයේ අංක එකේ සිනමා සම්මාන උළෙලක් බව බොහෝ සිනමා රසිකයන් දන්නවා. මෙහි දී පිරිනමනු ලබන ඉහළම සම්මානය, එනම් හොඳම චිත්‍රපටය සඳහා පිරිනැමෙන සම්මානය හඳුන්වන්නේ Palme d’Or යන නමින්.The Apprentice චිත්‍රපටයත් තවත් චිත්‍රපට 18 ක් සමග මෙම සම්මානය සඳහා තරග වදිනවා. ලෝකයේ විවිධ රටවලින් ඉදිරිපත් වන විශිෂ්ට ගණයේ චිත්‍රපට මෙම උළෙලේ දී තරග කරන බව රහසක් නොවෙයි.

The Apprentice චිත්‍රපටයට පසුබිම් වන්නේ ට්‍රම්ප් ගේ ජීවිතයේ අප කව්රුත් දන්නා මෑත කාලය නොවෙයි. ඔහු වයස අවුරුදු විසි ගණන්වල තිස් ගණන්වල පසු වූ කාලය යි. නවසිය හැත්තෑව අසූව දශකවල ට්‍රම්ප් ගේ ජීවිතයයි මෙම සිනමාපටයට පසුබිම් වන්නේ. අතිශයින් සාර්ථක වූ ඔහුගේ ව්‍යාපාරික ගමන ට්‍රම්ප් ආරම්භ කළේ මෙම වකවානුවේ යි. ඒ කාලයේ තමයි ඔහු දේපල වෙළෙදාම් ක්‍ෂේත්‍රයේ ව්‍යාපාර පටන් ගත්තේ.

සමරිසි පුද්ගලයකු වූ රෝයි කෝහන් නැමැති නීතිඥයා මේ කාලයේ ට්‍රම්ප්ට විශාල වශයෙන් උදව් කර තිබුණා. ඔවුන් අතර පැවතුණේ උපදේශකයකු සහ ඔහුගේ රැකවරණ ලබන්නකු අතර පවතින ආකාරයේ සම්බන්ධයක් බවයි සඳහන් වන්නේ. ඔවුන්ගේ මෙම සම්බන්ධය ගැනත් The Apprentice චිත්‍රපටයෙන් නිරූපනය වන බව පැවසෙනවා. මෙම සිනමාපටය දූෂණ, රැවටිලි ආදිය බහුල සමාජයක බලය සහ උන්නතිකාමය පිළිබඳ විමසා බලන සිනමාපටයක් ලෙසයි හැඳින්වෙන්නේ. එමෙන්ම එය ඒ කාලයේ පැවැති සමාජය, සංස්කෘතිය විවරණය කරන සිනමාපටයක් බවත් සඳහන් වෙනවා.

මෙම සිනමාපටය ප්‍රදර්ශණය වීමට යන්නේ ඇමරිකාවේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට ආසන්න පසුබිමක යි. ලබන නොවැම්බරයේ පැවැත්වෙන මෙම ජනාධිපතිවරණයට ට්‍රම්ප් ද ඉදිරිපත් වෙනවා. ඔහුගේ ජනාධිපතිවරණ සටනට The Apprentice චිත්‍රපටයෙන් කවර බලපෑමක් එල්ල වනු ඇත් ද යන්න ගැනත් මේ වනවිට සංවාදයක් ඇතිව තිබෙනවා. ජනාධිපතිවරණයට පෙර මෙම සිනමාපටය සිනමාශාලාවලට පැමිණීමට නියමිතයි.

The Apprentice චිත්‍රපටයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චරිතය රඟපාන්නේ සෙබස්ටියන් ස්ටාන්. 41 හැවිරිදි ඔහු රුමේනියානු/ ඇමරිකානු නළුවෙක්. පසුගිය දා පැවැති බර්ලින් සිනමා සම්මාන උළෙලේ දී හොඳම නළුවා සම්මානය හිමි වූයේ ස්ටාන්ට යි. මෙම කීර්තිමත් සම්මාන උළෙලේ දී ඔහුට එම සම්මානය පිරිනැමුණේ A Different Man නැමැති සිනමාපටයේ කළ රංගනය වෙනුවෙන්. සෙබස්ටියන් Avengers: Infinity War, Avengers: Endgame වැනි චිත්‍රපටවල පවා රඟපා තිබෙනවා.

-The Apprentice අධ්‍යක්‍ෂණය කළ අලි අබ්බාසි ද ජාත්‍යන්තර කීර්තියක් හිමි කරගත් සිනමාකරුවෙක්.
2022 වසරේ කාන් සිනමා උළෙලේදීත් අබ්බාසි ගේ චිත්‍රපටයක් Palme d’Or සම්මානය සඳහා නිර්දේශ වුණා. Holy Spider නැමැති මෙම සිනමාපටයට පසුබිම් වන්නේ ලිංගික ශ්‍රමිකයන් ඝාතනය කරන දාම ඝාතකයකු ( Serial Killer) කොටු කර ගැනීමට වෑයම් කරන මාධ්‍යවේදිනියක ගැන කතාවක්.

2018 වසරේ අලි අබ්බාසි අධ්‍යක්‍ෂණය කළ “Border නැමැති සිනමාපටය කාන් සිනමා උළෙලේ දී Un Certain Regard සම්මානයෙන් පිදුම් ලැබුවා. අබ්බාසි ගේ The Apprentice චිත්‍රපටය තුළිනුත් ප්‍රේක්‍ෂකයන්ට උසස් සිනමාත්මක වින්දනයක් ලබා ගැනීමට හැකි වනු ඇතැයි අපේක්‍ෂා කළ හැකියි. අලි අබ්බාසි ඉරාන/ ඩෙන්මාර්ක සිනමාකරුවෙක්.

රුසියානු ජනාධිපති පුටින් පිලිබඳ නිර්මාණය කර ඇති සිනමාපටය නම් කර තිබෙන්නේ Putin යනුවෙන්ම යි. පෝලන්ත ජාතික සිනමාකරුවකු වන පැටි්‍රක් වේගා තමයි මෙහි අධ්‍යක්‍ෂවරයා. මෙම සිනමාපටයේ ඇති විශේෂත්වයක් වන්නේ එහි පුටින්ගේ රුව කෘත්‍රිම බුද්ධි (AI) තාක්‍ෂණය ඇසුරෙන් නිර්මාණය කර තිබීමයි.

අධ්‍යක්‍ෂවරයා පවසා ඇති විස්තර අනුව පෙනෙන්නේ මෙම සිනමාපටය පුටින් පිලිබඳ මනෝ විද්‍යාත්මක විග්‍රහයක් කිරීමට උත්සාහ ගන්නා නිර්මාණයක් බවයි. රුසියානු නායකයාගේ පෞරුෂය සහ ක්‍රියාකාරකම් පිටුපස ඇති මනෝ විද්‍යාත්මක තත්ත්වයන් පිලිබඳ විමසා බැලීමක් කිරීමට තමා මෙම සිනමා පටය තුළින් උත්සාහ ගත් බව අධ්‍යක්‍ෂ වේගා පවසා තිබුණා.

Putin චිත්‍රපටය ලබන සැප්තැම්බර් මාසයේ ප්‍රේක්‍ෂකයන් හමුවට පැමිණීමට නියමිතයි.
මෙහි ප්‍රචාරක පටයක් පසුගිය දිනවල නිකුත් කර තිබුණා. පුටින් සටන් කලා පුහුණුවීම්වල නිරත වන ආකාරය වැනි දර්ශණ ද එහි ඇතුළත්. යුක්රේන යුද්ධය හා බැඳුණු ඇතැම් සිදුවීම් ද එහි නිරූපනය වන බව පැවසෙනවා.

Putin ඉංග්‍රිසි බසින් නිර්මාණය වූ චිත්‍රපටයක්.

නිහාල් පීරිස්

රසගඟුල