තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපතිත්වයට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දයා ලංකාපුර මහතා පත්කිරීම ගැන මාධ්‍ය හා සිවිල් සංවිධාන කීපයක් සිය කනස්සල්ල පළ කොට තිබේ.නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හා සාධාරණ සමාජයක් සඳහා ජනතා ව්‍යාපාරය ඒ අතර වෙයි.කොමිසමේ සාමාජිකයකු හැටියට විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරයකු සිටියදී මාධ්‍ය වෘත්තියේ පමණක් නිරත වූවකු එහි මුල් පුටුවට පත්කිරීම කවර අරමුණකින් සිදුවීදැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු ලසන්ත ද සිල්වා මහතා මාධ්‍යයට ප්‍රකාශ කොට තිබේ.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ආරම්භකයකු ද වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දයා ලංකාපුර මහතා කොමිසමේ සාමාජිකයකු හැටියට පත් කිරීමේ කිසිදු වරදක් නැතැයි කී හෙතෙම මෙම ප්‍රශ්න කිරීම මගින් ඔහුට ක්ෂේත්රයෙහි ඇති ගරුත්වයෙහි කිසිදු අඩුවක් නොවන්නේ යැයි ද කීවේය.
අභියාචනාධිකරණයේ හිටපු විනිසුරු වරයෙකු හා තොරතුරු දැනගැනීමේ අයිතිය නීතිගත කිරීම වෙනුවෙන් සටන් කළ දැවැන්ත චරිත දෙකක් කොමිසමේ සිටියදී දයා ලංකාපුර මහතා එහි සභාපතිත්වයට පත් කිරීම තොරතුරු දැනගැනීමේ කොමිසමට කළ අවමානයක් යැයි සාධාරණ සමාජයක් සඳහා ජනතා ව්‍යාපාරයේ මහලේකම් සුනිල් ජයසේකර මහතා පවසයි.
තොරතුරු දැනගැනීමේ කොමිසම අක්‍රීය කිරීම සඳහා සපිරුණු කාරණාවලට දැනටම මාස පහක් ගත වී ඇතැයි ද එවැනි පසුබිමක ගත් මෙම තීන්දුව කිසිදු ලෙසකින් යුක්තිසහගත නොවේ යැයිද ජයසේකර මහතා අවධාරණය කරයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් මහතා පැවසුවේ පවතින තත්ත්වය තුළ මෙවැනි පත්කිරීමක් හෝ සිදුවීම ගැන සතුටු විය හැකි නමුත් නව සභාපති වරයාගේ ඉදිරි කටයුතු ගැන සැලකිල්ලෙන් සිටීමට සිදුවන බවයි.මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන මෙසේ අදහස් දක්වා තිබේ.
“කිසිම නාමයෝජනාවක් කැඳවන්නේ නැතුව, අයදුම්පත් විතරක් කැඳවලා දීර්ඝ කාලයක් අරගෙන, පත් කරන්න ගියේ නුසුදුස්සෙක් කියලා චෝදනා එද්දි අඩියක් පස්සට අරන් වෙන කෙනෙක් පත් කරලා හෙට වැඩ බාරගන්නා බව කියනවා. කොමිසමේ සභාපති පත්කරන්නේ ජනාධිපතිවරයා. ව්‍යවස්ථා සභාවෙන් කරන්නේ සාමාජිකයන් නම් කරන එක විතරයි. උපාලි අබේරත්න ගියපු ගමන් වැඩ බලන සභාපති කෙනෙක් හෝ සභාපති කෙනෙක් පත් කිරීම කළ යුතුයි. නමුත් මේ වන තුරු එහෙම පත් කළේ නෑ. දැන් කොමිසමේ සාමාජිකයකු විදිහට පත් කරන ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදියා කොමිසමේ සභාපති කමට සුදුසුද කියලා ප්‍රශ්නයක් තියනවා. මොකද තොරතුරු පනත ගැන ප්‍රාමාණික දැනුමත් කියන, ප්‍රායෝගික අත්දැකීම් තියන සහ පරිපාලන අත්දැකීම් තියන තුන් දෙනෙක් එතැන ඉන්නවා”.