දිසා විනිසුරු මහේස්ත්‍රාත් තිළිණ ගමගේගේ රාජකාරි ‍යළි අත් හිටුවයි

මොරටුව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ තිළිණ ගමගේ මහතා ගේ රාජකාරී යළි අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.ඔහුට එරෙහිව පවතින විෂමාචාර චෝදනා සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සිදුකරන විමර්ශනයක් හේතුවෙන් මෙම අත්හිටුවීම සිදුකර ඇතැයි වාර්තා වේ.එම කොමිසම මහේස්ත්‍රාත්වරයා වෙත මේ බව ලිඛිතව දැනුම් දී ඇති අතර, දින 21 ක් ඇතුළත ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ද දැනුම් දී තිබේ.අලි ජාවාරම් සිද්ධියකට තිළිණ ගමගේ මහතා සම්බන්ධ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ඔහුට එරෙහිව එලෙස විමර්ශනයක් පැවැත්වේ.ඉකුත් ජූනි මාසයේදී අධිකරණ සේවා කොමිෂන් සභාව තිළිණ ගමගේ මහතාට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනුකර තිබිණි.වංචනික ලෙස ලබාගත් බලපත්‍රයක් භාවිත කරමින් “සකුරා” නමැති අලි පැටවකු සන්තකයේ තබාගැනීමෙන් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකළ බවට ඔහුට චෝදනා එල්ල විය.ඔහුට එරෙහිව අධිචෝදනා 25ක් යටතේ නීතිපතිවරයා විසින් නඩු පවරා තිබේ.මෙම අලි පැටවා නීතිවිරෝධී ලෙස සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර, 2015 වසරේ මැයි මාසයේදී අලියා නැවත වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලදී.
ඉන්පසුව, 2016 මැයි මාසයේදී අධිකරණ සේවා කොමිෂන් සභාව තිළිණ ගමගේ මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී ඔහුගේ රාජකාරි අත්හිටුවන ලදී.

කාලීන පුවත්