දෙපාවල පිරිසිදු බව නොතකා හැරීමෙන් ඔබේ පෙනුමට සහ සෞඛ්‍යයට  සිදුවිය හැකි හානි

         අප වැඩි  තැකීමක් නොකළද අපගේ බාහිර පෙනුම සම්බන්ධයෙන් විශාල වගකීමක් පාදවල විලුඹ සහ  නියපොතු ද දරයි. බාහිර පෙනුමට පමණක් නොව සෞඛ්‍යසම්පන්න බව සඳහා ද දෙපාවල නියපොතු සහ විලුඹ පිරිසිදුව තබා ගැනීම අත්‍යවශ්‍ය වෙයි. එනිසා අප මේ කතා කරන්නට යන්නේ පාදවල නියපොතු සහ විලුඹේ සුන්දරත්වය සහ සෞඛ්‍යසම්පන්න බව රැක ගැනීම පිළිබඳවයි.
       මුලින්ම අපි දෙපයේ නියපොතු ගැන කතා කරමු.
       නියපොතුවල සුලබව හට ගන්නා  එක් රෝගී තත්ත්වයක් හේතුවෙන්  ඔබේ නියපොතු විකෘති වීම පමණක් නොව දැඩි වේදනාකාරී තත්ත්වයක් ද නිරන්තරයෙන් ඇති කරවනු ඇත.  දෑතේ නියපොතුවලට දක්වන සැලකිල්ලෙන් භාගයක්වත්
දෙපාවල නියපොතුවලට නොදැක්වීම මෙවැනි රෝග හට ගැනීමට බලපායි. මෙලෙස ඇතිවන සුළු ආසාදිත තත්ත්වයක් හේතුවෙන් නියපොත්ත පමණක් නොව ඇතැම් විට ඇඟිල්ල ම වුව ඉවත් කරන්නට සිදුවන බරපතළ තත්ත්වයක් දක්වා  එය දුර දිග යා හැකි  අවස්ථා නැතුවා නොවේ. එනිසා  නියපොතුවල සුන්දරත්වය කෙරෙහි දක්වන සැලකිල්ලට වඩා වැඩි සැලකිල්ලක් එහි නිරෝගී බව පිළිබඳව දැක්විය යුතුය. එනිසා අත් පාවල නියපොතු ආශ්‍රිත රෝගී තත්වයක් ඇතිවුවහොත් මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර කර එය වළක්වා ගත යුතුවේ.
        නිය ආශ්‍රිතව හට ගන්නා  රෝග කිහිපයක් ම ඇති මුත් මේ කතා කරන්නේ විශේෂයෙන් දෙපාවල නිය ආශ්‍රිතව සුලබව හට ගන්නා නියබිරිත්තාව ( Paronychia)
ගැනයි.
      මෙය වැළඳෙන්නේ බැක්ටීරියා ආසාදනයක් නිසා ය. නියමල පැසවීම ලෙස ද සමහරුන් හඳුන්වන්නේ මේ රෝගී තත්ත්වයයි.
නියබිරිත්තාව හට ගන්නේ කෙසේද ?
       නියපොත්ත ආශ්‍රිතව සිදුවූ සීරීමක්,  නියමලට හානි සිදුවීම,   රසායනික ද්‍රව්‍යයන් නිතර නිතර දෙපාවල  තැවරීම,  ගොවිතැන් වැඩ මල් වැවීම  වැනි නිතර පස ආශ්‍රිතව වැඩ කටයුතු කිරීම යනාදිය  දෙපාවල නියපොතු ආශ්‍රිතව නියබිරිත්තාව හට ගැනීමට  බලපෑ හැකි සුලබ හේතූන් වේ.
         නියපොත්තේ වේදනාකාරී බවක් සමග නියමල ආශ්‍රිතව  ඉදිමීම සහ රත් පැහැ ගැන්වීම මෙහිදී මුලින්ම හඳුනාගත හැකි ලක්ෂණයි. මේ තත්ත්වය එලෙසින්ම පවතින විට නියමල ආශ්‍රිතව සැරව එක්රැස් වීම නිසා නියපොත්ත වටා කහ පැහැයට හුරු කොළ වැනි පැහැයක් හටගනී.
 මේ තත්ත්වය දක්වාම නියපොත්තෙහි තිබෙන ආසාදනය  නොතකා හැරීම තුළින් සුළු ශල්‍යකර්මයක් කර සැරව ඉවත් කරන්නට සිදු විය හැකිය. නමුත් එම අවස්ථාවට පැමිණෙන තුරු නොසිට  මුල් අවස්ථාවේදී , එනම් නියපොත්ත වටා රත් පැහැ ගැන්වී ඉදිමී ගෙන එන විට නිවසේ දී කළ හැකි සුළු ප්‍රතිකර්මයකින් නියබිරිත්තාව මුල් අවස්ථාවේදීම සුවකර ගැනීමට හැකියාව තිබේ.
       එම ප්‍රතිකර්මය මෙසේය.
       මඳ උණුසුම් ජලයට  විෂබීජනාශක සබන් වර්ගයක් දිය කරන්න. ආසාදනය හටගෙන ඇති ඇඟිලි එම උණුසුම් ජලයෙහි විනාඩි දහයක් පමණ බහා තබන්න. මෙම ප්‍රතිකර්මය දිනකට තුන්වරක් කරන්න. එමගින් නියබිරිත්තාව මුල් අවස්ථාවේදීම සුවකර ගත හැකිය. විශේෂයෙන් දියවැඩියා රෝගීන් නිය ආශ්‍රිතව හටගන්නා ආසාදිත තත්ත්වයන් පිළිබඳව දැඩි අවධානයකින් සිටිය යුතුය.  එලෙසින් සුළු  වේදනාකාරී තත්ත්වයකදී පවා ප්‍රතිකාර කරා යොමු වීම අනිවාර්යය වේ.
නියබිරිත්තාවට ප්‍රතිකාර
       රෝගී තත්ත්වය වඩාත් වර්ධනය වන විට එය රෝගියාට ඉතා වේදනාකාරී වේ. එවිට වේදනානාශක ලබා දිය යුතුය. නියමල  ආශ්‍රිතව එක්රැස් වී ඇති සැරව අනිවාර්යෙන්ම  ඉවත් කළ යුතු අතර ඇතැම්  විට  ඒ සඳහා සුළු ශල්‍ය කර්මයක් කරන්නට සිදු විය හැකිය.
        වැසි කාලවල දී දෙපාවල  වතුර  තැවරුණු විට හොඳින් පිරිසිදු කර තෙත මාත්තු කර ගන්න. ගොවිතැන් ආදී  පස ආශ්‍රිත  ක්‍රියාකාරකම් කරන විට එය නිම වූ වහාම දෑත් සහ දෙපා හොඳින් සෝදා පිරිසිදු කර ගත යුතුය.  එය නිය ආශ්‍රිත බොහෝ රෝගවලින් මිදිය හැකි මගකි.
         විලුඹ පැලීමට ප්‍රධාන හේතුවක් වන්නේ අපේ ශරීරයේ කෙස්වලට, මුහුණට, ශරීරයට දෙනු ලබන සත්කාරය පාදවලට නොදීමයි.   දෙපා නිසි ලෙස  පිරිසිදු නොකිරීම නිසා දිගින් දිගටම සමේ කුණු දූවිලි එකතු වීමෙන්  විලුඹ ප්‍රදේශය අධික ලෙස  වියළි වීම හේතු කරගෙන මෙම තත්වය ඇතිවේ .
          විලුඹ පැලීමට බලපාන තවත් හේතුවක් නම් තරබාරුකම ය. එවිට ශරීරයේ බර දෙපාවලට  ඔරොත්තු නොදෙන තත්ත්වයක් ඇති වේ. ශරීරය වැඩි බරින් යුතු අයෙකු වැඩි වේලාවක් සිටගෙන සිටින රැකියාවක නිරත වන විට එම කාන්තාවන්ගේ විළුඹ පැලීමේ සම්භාවිතාව ද වැඩි ය.  සාමාන්‍යයෙන් වයස 40 පමණ වන විට විලුඹ පැලීම ආරම්භ වන නමුත් සමහර ජානමය හේතු නිසා කුඩා වයස් වලදී එය ආරම්භ විය හැකිය.
       මෙම පැලීම් තුවාල තුළින් රෝගකාරක විෂබීජවලට ශරීරය තුළට ඇතුළුවීම  පහසු වේ. එනිසා මෙය ඉක්මනින් සුව කරගත යුතු තත්ත්වයකි. එනිසා එවැනි ලක්ෂණ ඇති වූ විට  පිළියම් කිරීම ආරම්භ කළ යුතුය. අධික ලෙස වියළි සමක් නම් එම සමට ගැළපෙන ආකාරයේ සමේ  තෙත ගතිය රැඳෙන ආලේපන වර්ගයක් ද , සාමාන්‍ය සමක් නම් එයට ගැලපෙන  ආලේපන වර්ගයක්ද භාවිතයට හුරු වීමෙන් ද විලුඹ පැලීම මග හරවා ගත හැකිය.
         එසේම සබන් මිශ්‍ර මද රස්නය සහිත  වතුර බේසමක දෙපා බහා තබා  මඳ වේලාවක් එම ප්‍රදේශය ඉතා හොඳින්  අතුල්ලා සෝදා හරින්න.  එමගින් කුණු දූවිලි ඉවත් කළ හැකිය. මෙය දිනපතා රාත්‍රියට කළ හැකි ප්‍රතිකාරයකි.
          විළුඹ පැලී ඇති විට දෙපා හොඳින් ආවරණය වන ආකාරයෙන් පාවහන් පළඳින්න. අඩුම තරමින් විළුඹ ප්‍රදේශයවත් හොඳින් වැසෙන ආකාරයේ  විලාසිතාවක් සහිත පාවහන් හෝ තෝරා ගැනීම අවශ්‍ය ය. එසේම දෙපා හොඳින් ආවරණය වන ආකාරයෙන් දිග කලිසම් සායවල් වැනි ඇඳුම්  භාවිතයට  ගැනීම සුදුසු වේ.
         විලුඹ  පැලීම ආරම්භ වන විටම එය නතර කර ගැනීම සඳහා ප්‍රතිකර්ම යෙදීම  වැදගත් වන්නේ එහි අධික ලෙස පැලී  ඇති විට යථා තත්ත්වයට පත් කිරීම සඳහා සමේ තට්ටු ගණනාවක්  වර්ධනය වනතුරු ප්‍රතිකාර ලබාදිය යුතු නිසා ය.  සම පැලීම අඩුකර ගැනීමට ගත හැකි ආහාර අතර  ඔමේගා  3, ඔමේගා 6 වැනි සංයෝග අඩංගු මාළු ප්‍රධාන ය.
          ඔබ කොතරම් සුන්දර වුවත් ඔබේ විළුඹ පැලී ඇත්නම් එය ඔබේ සුන්දරත්වයට විශාල බලපෑමක් ඇති කරවන බව ඔබ මොහොතකටවත් නො සිතා තිබෙන්නට පුළුවන. නමුත් එය සත්‍යයකි. ඒ නිසා ඔබේ මුහුණට දක්වන උනන්දුව ම අනෙකුත් අවයව සහ දෙපාවලටද දැක්වීම ඉතා වැදගත් බව සැලකිය යුතුය.
උපදෙස්
සමේ රෝග විශේෂඥ
වෛද්‍ය හිරෝමල් ද සිල්වා
වෛද්‍ය ගයාන්  ජයකොඩි
සටහන  – ඉන්දු පෙරේරා
විනිවිද සායනය