දේශපාලනය උගතුන්ට පමණක් සීමා කළ යුතුද?බෞද්ධ මතය විමසා බලමු

අප රටේ පවතින වත්මන් දේශපාලන අර්බුදයට හේතුව අපගේ දේශපාලන ක්ෂේත්‍රයට උගතුන් ගේ පැමිණීම අව ප්‍රමාණ වීම බවට සමාජය පුරා පැතිර ගත් මතයක් තිබේ.

එනිසාම වත්මන් රජය බලයට පත් වීමේදී “වියත් මඟ” නම් වන උගත් වෘත්තීයවේදීන් ගේ එකමුතුවක් ඒ සඳහා අනුග්‍රහය දැක් වූ අතර අද වන විට ඔවුන් ගෙන් කිහිපදෙනකු දේශපාලන ක්ෂේත්‍රයේ ඉහළම පදවි දරන බව ද පෙනෙයි.

මේ අතර වත්මන් රජයේ මැති ඇමතිවරුන් අතර හිඳින උගත් යැයි සම්මත පිරිසේත් නූගතුන් යැයි සම්මත පිරිසේත් ප්‍රකාශ සහ ක්‍රියාකාරකම් අනුව බලන විට එතරම් වෙනසක් ඇති බවක් නොහැඟේ. එමෙන්ම රජයේ මැති ඇමතිවරුන් අතරේ හිඳින උගත් යැයි සම්මත පිරිස් පවා කිසිදු ප්‍රායෝගික වැදගත් කමක් නොමැති බාල බොළඳ ප්‍රකාශ කොට රටේ සාමාන්‍ය ජනයා වෙතින් අපහාස, උපහාස වලට පවා හිමිකම් කී අවස්ථා අපි කාලයක් තිස්සේ නිතර අත්දකිමින් සිටිමු.

ජනතා පරමාධිපත්‍යය යන සංකල්පය පෙරදැරි කර ගත් නවීන දේශපාලනය රැකියාවක්, වෘත්තියක්, ව්‍යාපාරයක් හෝ කර්මාන්තයක් නොවේ. යම් යම් වෘත්තීය සුදුසුකම් සහිත වූවන් දේශපාලනයට පිවිසීමේ යම් යහපතක් දැකිය හැකි වුව ද දේශපාලනය යනු හුදෙක් වෘත්තීයවේදීන් හට පමණක් මෙහෙය විය හැකි විෂය පථයක් නොවේ.

වත්මන් දේශපාලනයට සෘජු සබැඳියාවක් නොමැති වුව විවිධ අරමුණු තකා ඇතැම් වෘත්තිකයන් තමන්ට කිසිසේත් අයත් නොවන විෂය ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ජනමාධ්‍ය වලින් කළ ඇතැම් ප්‍රකාශ අතිශය බාල බොළඳ බවට සමාජයේ විවිධ පිරිස් වෙතින් චෝදනා එල්ල වෙමින් තිබේ.විශෙෂයෙන් බෞද්ධ ධර්ම විනය පිළිබඳ කිසිදු දැනීමකින් තොර වෙනත් ක්ෂෙත්‍ර සම්බන්ධ ප්‍රාමාණික දැනුම් අවබෝධයන්ගෙන් යුතු විද්වතුන් බෞද්ධ ධර්ම විනයට ඉඳුරාම පරිබාහිර කරුණු බුදු දහම වශයෙන්සේ ඉදිරිපත් කොට ජනතාව නොමඟ යැවීම බරපතල ශාසනික අර්බුදයක් දක්වා දුර දිග යමින් තිබේ.

බොහෝ ශිල්ප ශාස්ත්‍ර දැන උගෙන තිබීම හෙවත් උගත්කම මිනිසා ගේ යහපතට හේතුවන කරුණක් බව මංගල සූත්‍රයෙහි දැක්වෙයි. එමෙන්ම බුද්ධ කාලීන භාරතයේ තිබූ අනේක විධ වූ විද්‍යා ශාස්ත්‍රයන් පිළිබඳව ත්‍රිපිටක සාහිත්‍යයේ බොහෝ කරුණු සඳහන් වෙයි.විජ්ජා,සච්ච,සිප්ප ආදී වදන් ඒ සඳහා යෙදී තිබේ. එමෙන්ම බුදු රජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාර අවධියෙහි ඒ බොහෝ විද්‍යා ශිල්ප ප්‍රගුණ කළ බව ද ත්‍රිපිටක සූත්‍ර දේශනා මගින් මනාව පැහැදිලි ය.

එසේම සූත්‍ර සහ අටුවා මගින් පැවසෙන කරුණු පිළිබඳව විමසා බැලීමේදී ඉතා පැහැදිලි ලෙසම පෙනී යන කරුණක් තිබේ. එනම් බුදුන් වහන්සේ සිද්ධාර්ථ කුමාර අවදියේ නූතන ව්‍යවහාරයට අනුව කිව හොත් විද්වතකු වශයෙන් ද ප්‍රකටව සිටි බවකි. එමෙන්ම බුද්ධ කාලීන සමාජයේ සම්භාව්‍ය භාෂාව සංස්කෘත වූ අතර එවක වේදය හදාරන බමුණන් ගේ සිට රජ, සිටු ආදී සමාජයේ මහේශාඛ්‍ය පිරිස් භාවිතා කරන ලද්දේ ද සංස්කෘත භාෂාව ය.

බුදුන් වහන්සේ ද සිද්ධාර්ථ කුමාර අවදියේ සංස්කෘත භාෂාව පරතෙරට හදාරා තිබුණ ද උන්වහන්සේ ගිහි ගෙය අත හැරීමෙන් පසු හා බුද්ධත්වයට පත්වීමෙන් පසු මගධ රාජ්‍යයේ සාමාන්‍ය ජනතාව ගේ ව්‍යවහාර භාෂාව වන මාගධී භාෂාව ව්‍යවහාර කළ බව පැහැදිලි ය.ඒ අනුව උන් වහන්සේ ගිහි ගෙයින් නික්මීමෙන් පසු රජ සැප,ගිහි සැප සේම තම විද්වත් බව ද අතහැර ස්වාධීන ඥාන ගවේෂණයක යෙදුණු බව පැහැදිලි ය. අද බෞද්ධ ත්‍රිපිටකය ලියැවී ඇති නිසා පෙළ ලියැවුණු බස යන අරුතින් පාලි යනුවෙන් හඳුන්වන එම බස එවක භාරතයේ උගතුන් ගේ පිළිගැනීමට ලක් වූ විදග්ධ භාෂාවක් වූ බව නොපෙනේ.

බුදු රජාණන් වහන්සේ පන් සාලිස් වසක් ධර්ම දේශනා කිරීමේ දී බ්‍රාහ්මණයන්ට, රජ දරුවන්ට, සිටු වරුන්ට, කුමාරවරුන්ට සේම ගොවියන්ට, කම්කරුවන්ට, හෙවත් දාසයන්ට දෙසූ ධර්ම කොටස් වෙන් වශයෙන් විශ්ලේෂණය කළ හැක. එහෙත්, එවක සමාජයේ උගත් යැයි සම්මත ජනතාවට ගැඹුරු ධර්ම කොටස් සහ සාමාන්‍ය ජනතාවට සාමාන්‍ය ධර්ම කොටස් වශයෙන් ධර්මය කොටස් කර දෙසූ බවක් කිසි විටෙකත් නොපෙනේ.

නමුත් සතිපට්ඨානය,කාලාම සූත්‍රය ආදී බුදු දහමේ වඩාත් ගැඹුරුසහ විංමසනශීලී ධර්ම කොටස් දේශනා කිරීමේදී කුරු ජනපදයේ භික්ෂූන්ට සහ වැසියන්ට ප්‍රමුඛත්වයක් දී තිබූ බව පෙනී යයි. කුරු ජනපදය යනු වත්මන් ඉන්දියාවේ දිල්ලිය කේන්ද්‍ර කර ගත් ප්‍රදේශයයි.
දැන උගත්කම සම්බන්ධ යම් අගැයුමක් ලබා දෙන බුදු දහමේ පරමාදර්ශ අතරට එය අයත් කර නොගැනීම ද අපගේ විශේෂ අවධානයට යොමු විය යුත්තකි.

එලෙස බුදු දහමේ පරමාදර්ශ අතරට එන සීල, සමාධි, ප්‍රඥා උගත්කම අතර සෘජු සම්බන්ධයක් ඇති බවක් නොපෙනේ. “පඥ්ඥාවත්තංස අයං ධමමෝ නායං ධම්මො දුපඥස්ස” යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කළ පරිදි උන්වහන්සේ ගේ දහම ප්‍රඥා වන්තයන් සඳහා මිස දුෂ්ප්‍රාඥයන් සඳහා නොවේ. මෙහි දුෂ් ප්‍රාඥ යනුවෙන් “මෝඩ” යන්න හැඟවෙන බව බොහෝ දෙනකු ගේ අදහසය.

එහෙත්, ඒ සඳහා ත්‍රිපික යේ බහුල ලෙස ‘මෝඝ’ යන වදන යෙදී ඇති නිසා මෙහි දුෂ් ප්‍රාඥ යනුවෙන් ප්‍රඥාව නොමඟට යෙදවුවන් හැඳින්වීම පිණිස යොදා ඇති බව පෙනේ.

ඒ අනුව වර්තමාන උගතුන් අතර අනේක විධ විද්‍යා ශාස්ත්‍ර ශිල්ප හදාළවුන් සේම ප්‍රඥාව නොමඟට යොමු කළවුන් ද සිටින නිසා දේශපාලනය යනු හුදෙක් සීල හෙවත් හික්මීම,සමාධි හෙවත් සිතේ එකඟ බව ප්‍රඥාව හෙවත් ගුණ නුවණ යන පරමාදර්ශ සහිත මං පෙතකට එළඹි සත් පුරුෂයන් විසින් මෙහෙය යුත්තක් බවත් ඒ හැරුණු කොට ඊනියා උගතුන් විසින් මෙහෙයවා ජනතාවට යහපතක් ඉෂ්ඨාර්ථ සිද්ධියක් උදා කළ නොහැකි විෂයක් බවත් ධර්මානුකූලව පෙන්වා දිය යුතු ය.

කදුරුපොකුණේ සුමංගල හිමි

පහන් ටැඹ