නිතර ජංගම දුරකථන පරිහරණයෙන් කන් ඇසීම අඩු වෙනවාද ?

ජංගම දුරකථනය අපට දැන් කෑම බීම තරමටම නැතිවම බැරි උපකරණයක් බවට පත්වී ඇත. ජංගම දුරකථන පරිහරණය කරන බොහෝ අය හෑන්ඩ්ස් ෆ්‍රී, බ්ලූටූත් වැනි උපකරණද භාවිතා කරති. මෙහිදී බොහෝ දෙනකුගේ මතය වන්නේ මෙවැනි උපකරණ නිසා ශ්‍රවනාබාධ වැළඳිය හැකි බවයි. මේ කතා කරන්නේ ඒ පිළිබඳවය.

මනුෂ්‍යයකුගේ සෑම දෙයක්ම තීරණය වන්නේ භාෂා හැකියාව මත ය. භාෂාව පරිහරණය කරන්නට අපට හැකියාව ලැබෙන්නේ කන් දෙක හොඳින් ඇසෙන්නේ නම් පමණි. උපතින්ම කන් දෙකක් ලැබී තිබෙන නිසා අපට ඇසෙන දේ අනුව අපි ළදරු වයසේ දී ම කතා කරන්නට ඉගෙන ගත්තෙමු. කන් ඇසීම යනු මානව සංහතියේ සියලු දේවල් උදෙසාම අත්‍යවශ්‍ය සාධකයක් වුවත්, උපතින්ම මෙය අපට ලැබී තිබෙන නිසා මෙහි වටිනාකම ගැන අප මොහොතකටවත් සිතන්නේ නැති තරම්ය.

කන්වලට යම් ශබ්දයක් ඇසෙන්නේ කොහොමද ?

ශබ්ද තරංග මුලින්ම වදින්නේ කන ඇතුළේ තිබෙන කන් බෙරය නමින් හඳුන්වන කොටසේ ය. ඉන්පසු කන් බෙරයෙහි කම්පනයක් ඇතිවේ. කන් බෙරයට සම්බන්ධ වී ඇති මැද කනේ ඉතා කුඩා අස්ථිකා තුනක් පිහිටා ඇත. මේවා අස්ථිකා ලෙස හඳුන්වන්නේ සාමාන්‍ය අස්ථියකට වඩා ඉතා කුඩා වීම නිසාය. කන් බෙරයෙහි ඇති වන කම්පනය නිසා මැද කනේ අස්ථිකා තුනේ ද කම්පනයක් ඇතිවේ. මෙසේ අස්ථිකා කම්පනය වූ පසු එයින් ඇතුල් කනේ උත්තේජනයක් ඇති කරයි.

ඇතුල් කනේ හෙයාර් සෙල්ස් ( hair cells ) නමින් ඉතාම සියුම් සෛල විශේෂයක් පිහිටා ඇත. මේ හෙයාර් සෙල්ස් මගින් කරන්නේ කම්පන තරංග, ස්නායු උත්තේජනයක් බවට හැරවීමයි. හෙයාර් සෙල්ස් යනු ඉතාම සංවේදී සෛල විශේෂයකි. මේ එක් සෛලයක් හෝ මිය ගියහොත්, එක සෛලයකට හෝ කිසියම් වූ හානියක් සිදු වුණොත් ඒ සෛල නැවත වැඩීමක් සිදු වන්නේ නැත. අපේ අතේ පයේ නැතහොත් සමේ කොතැනක වුව ද තුවාලයක් ඇති වුවහොත් එම තුවාල වුණු ස්ථානයේ සමේ සෛල බෙදි බෙදී ගොස් එම තුවාලය ටික කලකින් වැසී සම තිබූ තත්ත්වයටම පත් වන බව ඔබ දනී. නමුත් ඇතුල් කනේ හෙයාර් සෙල්ස්වලට හානි වුවහොත් නැවත ඒවායේ එබඳු වර්ධනය වීමක් සිදු නොවන නිසා අප මිය යන තුරුම මේ හෙයාර් සෙල්ස් ප්‍රවේශම් කර ගත යුතුය.

ඉහත කී ආකාරයට හෙයාර් සෙල්ස් මගින් ස්නායු උත්තේජනය වූ පසු ඒ ස්නායු මගින් මොළයට පණිවිඩය ගොස් මොළයේ ශබ්ද ඇසීම සඳහා වූ කොටස් උත්තේජනය වේ. එවිට අපට ඒ ශබ්දය ඇසෙයි. මෙය විදුලි වේගයෙන් සිදු වන්නකි.

ශබ්දය මනින ඒකකය හඳුන්වන්නේ ඩෙසිබල් ( dB) ලෙසිනි.

කෙනෙක් තව කෙනෙකුගේ කනට ළංවී රහසක් කියන විට පිට වන්නේ ඩෙසිබල් 15 -20ක පමණ ශබ්ද ප්‍රමාණයකි. දෙදෙනෙක් නිහඬ තැනක සාමාන්‍ය කතාබහක යෙදෙන විට ඩෙසිබල් 40 – 50 අතර ශබ්ද පරාසයක් පවතී. කඩ වීදියක් වැනි බොහෝ ශබ්ද තිබෙන පරිසරයක ඩෙසිබල් 60 – 90 අතර ශබ්ද ප්‍රමාණයක් පවතින අතර සංගීත සන්දර්ශනයක් පවතින ස්ථානයක ඩෙසිබල් 90 – 100ක පමණ ශබ්දයක් පවතී. රතිඤ්ඤාවක් පුපුරන විට නිකුත් වන ශබ්දය ඩෙසිබල් 120 ට වඩා වැඩිය.

අපේ කනට දැරිය හැකි ශබ්ද සීමාව ඩෙසිබල් 65 – 70 අතර වේ. කනට දැරිය හැකි උපරිම ශබ්දය ඒ අනුව ඩෙසිබල් 70 ක් ලෙස දක්වන්නට පුළුවන. ඒ ප්‍රමාණයේ ශබ්දයකින් අපේ කනට හානියක් ඇති වන්නේ නැත. අධික ශබ්දය නිසා කනට හානි සිදු වන්නේ ඩෙසිබල් 70 කට වඩා වැඩි ශබ්ද ප්‍රමාණයකින් කනට කම්පනයක් ඇති වීම තුළින් හෙයාර් සෙල්ස්වලට හානි සිදුවීමෙනි.

ශබ්දයෙන් කනට හානි සිදු වන ක්‍රම දෙකක් තිබේ. රතිඤ්ඤා කරලක් වැනි දෙයක් කන ආසන්නයේ පිපිරුවහොත් ක්ෂණිකව කනට හානි සිදුවන්නට පුළුවන. එය පළමු ක්‍රමයයි.

ඩෙසිබල් 70- 80 අතර ශබ්ද ප්‍රමාණයක් එකවර නොව කාලයක් තිස්සේ එක දිගට කනට අසන්නට සිදු වන විට කනට හානි සිදුවීම දෙවන ක්‍රමය වේ. නිදසුනක් ලෙස ලී මෝලක වැඩ කරන කෙනෙකු කාලයක් එක දිගටම එම යන්ත්‍ර සුත්‍රවල ශබ්දයට මුහුණ දෙන විට කනට හානි සිදුවිය හැකිය . එමෙන්ම ඩෙසිබල් 70කට වඩා වැඩි ශබ්දයක් සහිතව කාලයක් තිස්සේ කනට හෑන්ඩ්ස් ෆ්‍රී වැනි උපකරණ පැළඳ ගීතවලට සවන් දීමෙන් ද මේ තත්ත්වයම සිදු වන්නට පුළුවන.

නිවසේ මහ හඬින් රේඩියෝවක් ක්‍රියාත්මක කර ගීත අසන්නට යාමෙන් මුළු නිවසේම සිටින අයගේත්, අහළ පහළ අයගේත් කන්වලට හානි සිදු කරනවාට වඩා තමන්ට පමණක් ඇසෙන පරිදි හෑන්ඩ්ස් ෆ්‍රී උපකරණයක් පැළඳ තමන් කැමති ගීතයක් ශ්‍රවණය කිරීම යහපත් ය. නමුත් එහිදී ඔබ ඩෙසිබල් 70 ඉක්මවමින් එක දිගටම කාලයක් තිස්සේ ඒ ආකාරයට ගීත ඇසීමෙන් ඔබේ කන්වලට හානි සිදුවන බවද දැනගත යුතුය. ඔබට සරලව මෙය මෙලෙස පැහැදිලි කළ හැකිය. එනම් ඝෝෂාකාරී කාමරයක් තුළ ශබ්ද පරාසය ඩෙසිබල් 70- 90 අතර ප්‍රමාණයකි. ඒ අනුව ඔබේ කන්වලට දැරිය හැක්කේ ඩෙසිබල් 70 ට වඩා අඩු ශබ්ද ප්‍රමාණයක් බව වටහා ගත යුතුය.

ඉහත සඳහන් කළ ආකාරයට එකවර විශාල ශබ්දයක් ඇති වූ විට ක්ෂණිකව ඔබේ කන් ඇසීම නැතිවී යා හැකිය. පැය 48ක් ඇතුළත මෙය යථා තත්ත්වයට පත් නොවුණොත් එය ස්ථිරවම කන්වලට සිදුවූ හානියක් වීමට ඉඩ ඇත.

කාලයක් තිස්සේ ඩෙසිබල් 90ක පමණ ශබ්දයක් දමාගෙන හෑන්ඩ්ස් ෆ්‍රී උපකරණයකින් ගීත අසන කෙනෙකුගේ කන්වලට හානි සිදුවන්නේ ඉහත දැක්වූ ආකාරයේ දී මෙන් එකවර නොවේ, ටිකෙන් ටිකය. කන්වල හෙයාර් සෙල්ස්වලට සෙමින් සෙමින් හානි සිදුවී ඉන්පසු කන් නෑසී යනු ඇත. මෙහිදී මුලින්ම රෝගියාට දැනෙන රෝග ලක්ෂණ වන්නේ තමා අවට නැති ශබ්ද ඇසීමයි. නිදසුනක් ලෙස තමන් වෙසෙන ප්‍රදේශයේ කිසිදු වාහනයක් ගමන් නොකරන අවස්ථාවක තමාගේ ළඟින්ම වාහනයක් ගමන් කරන්නාක් මෙන් ඇසෙන්නට පුළුවන. මෙය ඇසෙන්නේ කන ඇතුලෙන් ම ය. ටික දිනක් යන විට තමාගේ කන් ඇසීම අඩු වේගන යන ආකාරයක් ඒ පුද්ගලයාට දැනෙන්නට පටන් ගනී. හෑන්ඩ්ස් ෆ්‍රී උපකරණයෙන් මෙන්ම බ්ලූටූත් නමින් හඳුන්වන කනට පළඳින උපකරණයෙනුත් හානි සිදුවන්නේ ඩෙසිබල් 70කට වඩා වැඩි ශබ්දයකින් එය නිතර නිතර සවන් දෙන විට ය.

බ්ලූටූත් මෙන්ම ජංගම දුරකථනවලත් තාක්ෂණය වන්නේ මයික්‍රෝවෙව් තරංගයි.ලෝකයේ දියුණු රටවල මෙම උපකරණ නිපදවන්නේ ඉතා හොඳින් පර්යේෂණ කර ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව කන්වලට හානි නොවන මට්ටමකිනි. නමුත් විශේෂයෙන් චීනයේ නිෂ්පාදිත මෙවැනි උපකරණ, ජංගම දුරකථන ආදිය සම්බන්ධයෙන් මෙවැනි පරීක්ෂණ සිදුකරන්නේ නැත. ඉන්දියාවේ නිෂ්පාදිත සමහර උපකරණද ජාත්‍යන්තර ප්‍රමිතියෙන් තොර ය. ජාත්‍යන්තර සම්මත ක්‍රමවලට අනුව සකස් කළ ජංගම දුරකථන සහ ඊට අදාළ මෙවලම් පරිහරණයෙන් කනට හානි සිදු වන්නේ නැත. නමුත් එය ඩෙසිබල් 70 ට අඩුවෙන් ශ්‍රවණය කළ යුතුය. මෙම උපකරණ සමග ලැබෙන උපදෙස් පත්‍රිකාවලින් (catelogue) මේවා ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූල ද යන්න දැන ගත හැකිය. එසේ නො වන චීනයේ නිෂ්පාදිත උපකරණ වලින් නම් කලක් ගතවන විට කන්වලට හානි සිදු වීමට තිබෙන ඉඩකඩ වැඩිය.

නවීන තාක්ෂණය මිනිසාට අයහපත් බව අප පවසන්නේ නැත. මෙම උපකරණවල අපට ඉතාමත් වාසිදායක පැත්තක් තිබේ. නමුත් එය අප දැන ගෙන භාවිතා කළ යුතුය. එසේ නොවුණොත් හානි සිදු වනු ඇත. හරියටම කිවහොත් ගින්දර මෙනි.

කන් ඇසීම අඩු වුණොත් එය යථා තත්ත්වයට පත්කළ නොහැකි දැයි බොහෝ දෙනෙක් විමසන ප්‍රශ්නයකි. කන්වල කලාඳුරු හිරවීම, සෙම නිසා කන් ඇසීම අඩුවීම, මැද කනේ ප්‍රශ්න, කන් බෙරයේ ප්‍රශ්න වැනි දේ නිසා කන් ඇසීම අඩු වන්නේ නම් කන හා සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකුට එය යථා තත්ත්වයට පත් කළ හැකිය. නමුත් හෙයාර් සෙල්ස්වලට හානි සිදු වී තිබේ නම් කිසිම ඖෂධයකින් එය යථා තත්ත්වයට පත් කළ හැකි නොවේ. මෙයට කළ හැකි එකම ප්‍රතිකාරය කර්ණශංඛ බද්ධය පමණි. මෙය මිල අධික සැත්කමකි.

කන් ඇසීම අඩු සමහර පුද්ගලයෝ ශ්‍රවණාධාර පළඳිති. නමුත් ශ්‍රවණාධාර පැළඳීමෙන් කන් ඇසීම ලබාගත හැක්කේ ද හෙයාර් සෙල්ස්වලට මුළුමනින්ම හානි නොවූ අයට පමණි. හෙයාර් සෙල්ස්වලට සම්පූර්ණයෙන්ම හානි සිදු වී තිබේ නම් ශ්‍රවණාධාරවලිනුත් පලක් නොවේ. ඩෙසිබල් 90 ක මට්ටමින්වත් ප්‍රතිචාර දක්වන්නේ නම් පමණක් ශ්‍රවණාධාර පැළඳීමෙන් යම් ප්‍රතිපලයක් ලබාගත හැකිය.

ඒ අනුව උපතින්ම ලැබුණු කන් දෙක ප්‍රවේශම් කර ගැනීමේ වටිනාකම දැන් ඔබට වැටහෙන්නේ යැයි සිතමු. ජංගම දුරකථන සහ ඒ සම්බන්ධ උපාංග අපට අවශ්‍යය. එහෙත් ඉහත දැක්වූ ක්‍රමවේදයන්ට අනුව ප්‍රවේශමෙන් ඒවා පරිහරණය කළ යුතුය.

උගුර කන සහ නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය එස්. ඒ. ඇතුල්ගම

ඉන්දු පෙරේරා

විනිවිද සායනය