පළිඟු බෝලයෙන් ලොව හෙල්ලූ අනාවැකි කාරිය ජේන් ඩික්සන්

ලෝක ඉතිහාසය දෙස බැලූ විට අපට බොහෝ අනාවැකිකරුවන් හමු වේ. ඔවුන් ලෝකයේ ප්‍රසිද්ධව සිටින්නේ පළිඟු බෝලයක් දෙස බලා ඉදිරියේ දී සිදුවන දෑ ඉතා නිවැරදිව පැවසීමට හැකියාව ඇති පුද්ගලයන් ලෙසිනි. 1904 ජනවාරි 5 වැනිදාවක උපන් ජේන් ඩික්සන් ද එවැන්නියකි. ජර්මානු ජන්මයක් සහිත ඇමරිකානු කාන්තාවක වූ ඇය 1997 ජනවාරි 25 වැනිදා මිය ගියාය.

ඇය ලෝකයේ අතිශය ප්‍රසිද්ධියට පත් වූයේ ඇමරිකානු ජනාධිපතිවරයකු වූ ජෝන් එෆ්. කෙනඩිගේ ඝාතනය පිළිබඳ සිදු කළා යැයි සැලකෙන අනාවැකිය නිසාය. කෙනඩි ජනාධිපතිවරයා ඝාතනයට ලක් වූයේ 1963 වසරේ දී ය. 1956 මැයි  13 වැනිදා නිකුත් වූ ‘පැරේඩ් සඟරාව’, ජේන් ඩික්සන්ගේ අනාවැකියක් පළ කොට තිබුණේ මේ ආකාරයටය.

“1960 වසරේ ඇමරිකානු ජනාධිපතිවරයෙන් ජය ගන්නා තැනැත්තා ජනාධිපතිධූරයේ සිටියදී ම ඔහු මිය යනු ඇත. එසේත් නැත්නම් ඝාතනය වනු ඇත.”

කෙසේ නමුත් ඇය ජයගන්නා අපේක්ෂකයා ලෙස මුලින්ම සඳහන් කොට තිබුණේ රිචඩ් නික්සන් ව ය.

ඇමරිකානු ජනපති බිරිඳක වූ නැන්සි රේගන් ද ජේන් ඩික්සන්ගෙන් උපදෙස් ලබාගෙන ඇති බව ප්‍රකට ය.

උපතින් රෝමානු කතෝලික කාන්තාවක වූ ජේන් පැවසූයේ මේ අනාවැකි කීමේ හැකියාව ඇයට දෙවියන්ගෙන් ලැබුණු දායාදයක් බව ය. ඇය මුලින්ම අනාවැකි පළ කරන්නට පටන් ගෙන තිබුණේ පස් හැවිිදි වියේ දි බව ඇයම පවසා තිබේ.

කෙසේ නමුත් ඇය විසින් පවසන ලද අනාවැකි වර්තමානයට අදාළ කරගනිමින් ඒවා සත්‍ය ඒවා බවට පත්කොට ගෙන සිටින්නේ ජනප්‍රිය ආරේ සඟරා සහ පුවත්පත් බව බොහෝ දෙනෙක් පවසයි. සිය අළෙවිය වර්ධනය කරගැනීම පිණිස ඔවුන් මේවා ඉස්මතු කොට දක්වන බව ද පැහැදිලිය.

සැබෑ අනාවැකිකාරියක නම් පවසන සියලු දේ නිවැරදි විය යුතු වුවත් ඇය පවසා ඇති නමුත් වැරදී ගිය අනාවැකි ද බොහොමයකි. පහත ඇත්තේ එසේ වැරදී ගිය ඒවා කිහිපයකි.

– සඳ මත මුලින්ම පා තබන්නේ රුසියානවන් ය.

– 1958 ඔක්තෝබර් මාසයේ දී තුන්වෙනි ලෝක යුද්ධය ආරම්භ වේ.

මේ අනාවැකි දෙකෙන් එකක්වත් නිවැරදි වූයේ නැත. එසේ නම් ඇය සැබෑ අනාවැකිකාරියක් ද යන ගැටලුව මතුවේ.

ඇය අනාවැකි පළ කරන්නේ පළිඟු ගෝලයක් දෙස බලමිනි. මෙය එක්තරා අන්දමක අංජනම් බැලීමකි.ඇය පවසන ආකාරයට එම පළිඟු බෝලය තුළ ගුප්ත බලයක් තිබේ. නමුත් කරුණු සොයා ලෙන යද්දී පෙනෙන්නේ එය හුදෙක්ම වීදුරු බෝලයක් පමණක් බවයි. ඇය එය සාදා ගෙන ඇත්තේ වීදුරු සමාගමකට ඩොලර් 8000 ක් ගෙවා බව හෙළි වි තිබේ.

ඇය වරෙක අනාවැකියන් පැවසූවේ ඇමරිකානු ජනපති රිචඩ් නික්සන් ජනතාවගේ ආදරයට ලක්වෙන්නෙක් බව ය. නමුත් ඔහුට ඉල්ලා අස්වන්නට සිදුවූයේ ජනතාවගේ අපහාස මැද ය. ඇය රිචඩ් නික්සන්ට පක්ෂපාති අනාවැකි පළ කළේ, ඔහු ජනපතිව සිටිය දී ඇයගේ සේවය රහසින් ලබාගෙන තිබූ නිසා බැව් පැවසේ. එය වර්තමානයට සමාන කළහොත්, 2015 වසරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවන බවට අපේ රටේ සිටි ජ්‍යොතිර්වේදීන් අනාවැකි පළකළ සිද්ධියට බෙහෙවින් සමාන ය. ඒවා ආර්ථික වශයෙන් වාසි සහගත කාරණා මත පදනම්ව සිදු කළ අනාවැකි පළකිරීම් බවට මත පළ විය..

ඇය තවත් වරෙක මෙවැනි අනාවැකියක් පළ කළාය.

“1962 පෙබරවාරි 5 වැනිදා පෙරවරු 7 න් මඳ වේලාවකට පසුව මැද පෙරදිග රටක දරුවෙක් ඉපදෙන්නේ ය. ඔහු ලෝකය තුළ මහත් විප්ලවයක් සිදුකරන්නේ ය. 1999 වසර අවසන් වන්නට පෙර ඔහු මුළු ලෝකයම එකම ආගමික ඇදහිල්ලක් යටතට පත් කරන්නේ ය. මෙය කිතුනු දහමේ නව පෙරළියක් සිදු කරනු ඇත්තේ ය. ඔහු සර්ව බලධාරී බලයකින් යුක්තව ජනතාව අතරින් නැගී සිටින්නේය.”

මෙය අප අතර පවතින සක්විති රජ සංකල්පයට සහ දියසෙන් කුමරුගේ සංකල්පයට සමාන බව පෙනේ. කෙසේ නමුත් 1999 වසර පසු වී දැන් බොහෝ කල් ය. නමුත් එවැනි නායකයෙක් ගැන තවමත් අපට අසන්නට ලැබි නැත.

මේ අනුව පෙනී යන්නේ ඇය මහා බලසම්පන්න අනාවැකිකාරියක බවට පත්කොට ඇත්තේ මාධ්‍යය මිස අන් කිසිවක් නොවන බවයි. එදා මෙන්ම අදත් මෙවැනි අනාවැකිකරුවන්ගෙන් සමාජය දුප්පත් වන්නේ නැත. නමුත් ඔවුන් නිසා තමා දුප්පත් වන බව නොදන්නා ජනතාව තවමත් අන්ධ භක්තියෙන් ඔවුන් පසුපස දුවති.

නිරංජන් චාමින්ද කරුණාතිලක
අරුමැසි පුවත්