ගුප්ත ශාස්ත්‍ර උගුල් වලට හසු වන කතුන්ට කාගේ පිහිටක්ද?

දේවාල, කට්ටඬි සේවා, ගුරුකම් සේවා, යාතිකා සේවා, මළවුන් ගෙන්වන සේවා, ශාන්තිකර්ම, භූත දෝෂ සේවා ආදී මහා බලවේග තිබේ යැයි ප්‍රචලිත ස්ථානවලදී, විශේෂයෙන්ම කාන්තාවන් විවිධ ශාරීරික හිරිහැර වලට ලක්වන අවස්ථා පිළිබඳව විටින් විට ජනමාධ්‍ය තුළින් ඇසීමට සහ කියවීමට ලැබෙයි.එහෙත් මෙසේ වාර්තා වනුයේ අප රටේ සිදු වන සමස්ත සිදුවීම් වලින් ඉතා සුළු ප්‍රමාණයක් බව ද කිව යුතුමය.සෙසු ඛේදවාචක තරවටුවෙන්,බියවැද්දීමෙන්,මෝහනමය මානසික ඇනවුම් ආදියෙන් යටපත් කොට තිබේ.

නොපෙනෙන අදෘශ්‍යමාන බලවේගවල පිහිට පතා දේවස්ථාන, දේවාල, කට්ටඬි සේවා, යනාදී ස්ථාන වෙත යන ජනතාවට විවිධ අකරතැබ්බවලට මුහුණ දීමට සිදුවීම දිගටම සිදු වෙද්දී ඒ පිළිබඳව විමසා බැලීමට රජයෙන් හෝ වෙනත් වගකිවයුතු ආයතනයක් නිසි පියවරක් නොගන්නේ මන්ද යන ප්‍රශ්නය සමාජ කරලියට පැමිණ තිබේ.

මෙවන් අපරාධ වලට මුහුණ දෙනුයේ හය හතර නොතේරෙන දරුපැටවුන් නොව එක්කෝ තරුණියන් නැතිනම් විවාහක, වැඩිහිටි කාන්තාවන් වීම තවත් ප්‍රශ්න කළ යුතු දිශානතියකි.මෙම වංචනිකයන් අතරේ බෞද්ධ භික්ෂු ස්වරූපයෙන් පෙනී සිටින්නෝ ද හිඟ නොවෙති.

dewala

විශ්වයේ සහ අප ලෝකය ඇතුළු සෞරග්‍රහ මණ්ඩලයේ ආරම්භය මෙන්ම වසර බිලියන ගණනාවක් තුළ සිදුවූ පරිණාමය පිළිබඳව විද්‍යාත්මක විමසුම් හරහා යථාර්ථය හෙළිදරව් කරගෙන සිටින ලොවක 21වන ශත වර්ෂය ගෙවා යන ජනයා බහුතරයක් 16 වන ශතවර්ෂයටත් එහා වකවානු වල යථා අවබෝධයෙන් තොරව නිර්මාණය කර ගත් මිථ්‍යා සංකල්ප ඔස්සේ යමින් තම කාලය සහ ධනය විනාශ කර ගැනීමට අමතරව, විශේෂයෙන් කාන්තාවන්, දූෂිත ක්‍රියා වලට ලක් වන්නට තරම් ජනයා අවිචාරවත්ව කටයුතු කිරීම කණගාටුදායකය.ඒ තුළින් මේ වන විටත් ව්‍යාප්තව ඇති ස්ත්‍රී ජාවාරම බොහෝ දෙනකුගේ ධනෝපායන මාර්ගයක් වී තිබේ.

අදෘශ්‍යමාන බලවේගවල පිහිට පැතීමට ඉදිරිපත් වන්නන්ගෙන් බහුතරය කාන්තාවන් වීමට ජානමය හේතුවක් ද නැතුවා නොවේ. තම දූ දරුවන් මෙන්ම විරුද්ධ ලිංගික පාර්ශවය සතුටුවී සැනසෙන පරිදි කතාබහ හැසිරවීමට ප්‍රයෝජනවත් වන මෘදු (Soft කටහඬක් කාන්තාවන් සතු වීම මෙන් ම දූ දරුවන් සහ විරුද්ධ පාර්ශවය පාලනය කිරීමට උපකාර වන උස් විස්තාරයක්ද (Amplitude) එම කටහඬ සතුවීම ස්වභාවයයි.

නමුත් ශාරීරික ශක්තිය විමසා බැලීමේදී කාන්තාව පුරුෂයාට පසුපසින් සිටින්නීය. මෙම බෙලහීනතාවට කුමක් හෝ පිළියමක් සෙවීමට අවශ්‍ය බව කාන්තා මනස වටහාගෙන තිබේ. එවන් පිළියම් සොයා කාන්තාවන් බහුතරයක් අදෘශ්‍යමාන බලවල පිහිට සොයා දේවස්ථාන, පන්සල්, පල්ලි, කෝවිල්, යකදුරු, කට්ටඩියන් වෙත යන බව පැහැදිලි ය.

එහෙත් එම ආයතන හෝ මධ්‍යස්ථානවල ප්‍රධානියා මෙන්ම ඔහුගේ සහායකයින් අදෘශ්‍යමාන බලවේග නම් වූ මිථ්‍යා සංකල්පය අවියක් කොට ගෙන සේවය පතා එන බහුතරයක් විවිධ දූෂණවලට වලට පොළඹවා ගනු ලබන අතර එම ප්‍රෝඩාවලට මුලාවී විවිධ හිරිහැර වලට ලක්වීමට තරම් බොහෝ දෙනෙක් (විශේෂයෙන්ම කාන්තාවන්) මානසිකව දුර්වල බව පෙනේ.

අදෘශ්‍යමාන බලවේග තමන් සතු බවට කටවහර, ජනමාධ්‍ය දැන්වීම්, පත්‍රිකා සහ මුහුණු පොත් සටහන් ආදිය හරහා ප්‍රචාරය කිරීම මෙම ප්‍රෝඩා කරුවන්ගේ ක්‍රියාව වන අතර යථාර්ථය වටහා ගැනීමට තරම් අධ්‍යාපනික තත්ත්වයක් නොමැති වීම නිසා මිත්‍යා සංකල්ප කෙරෙහි විශ්වාස කිරීමට පෙරමුණ ගන්නා ජනයා එම බලවල පිහිට පැතීමට ගොස් විවිධ අකරතැබ්බවලට මුහුණ දෙන්නේ තම කාලය සහ මුදල් විනාශ කිරීමත් සමගය.

දකුණු ඉන්දියාවේ කලකට පෙර විසූ මහා දේව බල සතු යැයි ප්‍රසිද්ධ දේව පුත්‍රයා වූ සායි බාබා ඇතුළු සියලු පූසාරින් සහ දේව පුත්‍රයන්, කපුවන්, ගුරු මෑණිවරුන්, ගුරුපියවරුන් යථාර්ථය වටහා නොගෙන මිථ්‍යාවට බර වූ ජනයා රවටා ගැනීමට යොදන උප්පරවැට්ටි රැසකි.

ඉන් කිහිපයක් මෙසේය.

1.      දෙවියෙකුගේ හෝ යක්ෂයකුගේ නමක් යොදා ගෙන ඒ නමැති කෙනාගේ බැල්ම තමාට තිබෙන බවට ප්‍රචලිත කිරීම.

2.      එම අදෘශ්‍යමාන බලවතුන් සමග අදහස් හුවමාරු කරගත හැකි දේව භාෂාවක් තමා දන්නා බව පෙන්වීම. (දේව භාෂා කියා දෙයක් නොමැත.) මලයාලි, දෙමළ ආදී වචන සහිත වදන් පවසමින් නටන පූසාරියෝ කරන්නේ ප්‍රෝඩාවකි.

3.      තමා පිළිබඳ ප්‍රචාරය කොට තම සේවය සඳහා ජනතාව කැඳවාගෙන ඒම සඳහා නියෝජිතයින් සංවිධානය කොට රැවටුණු ජනතාව කැඳවාගෙන ඒම සඳහා මෙන්ම එම ජනතාවට තිබෙන ප්‍රශ්න කල්වේලා ඇතිව රහසින් දන්වා සිටීම වෙනුවෙන් නියෝජිතයින්ට කප්පම් ලබා දීම.

4.      එවන් කපටි ක්‍රම හරහා සේවය සඳහා එන මිථ්‍යාවට රැවටුන අයගේ ගැටලු පිළිබඳ පෙර දැනුවත් වී පවසන දෑ සත්‍ය බවට සේවය පතා පැමිණෙන අයට වැටහීමට පසු ඉදිරි කටයුතු සඳහා මිල අධික පියවර සහ දේව පඬුරු නියම කිරීම.

ඉහත සඳහන් සාමාන්‍ය පිළිවෙත් වලට අමතරව සේවය සඳහා තමා වෙත පැමිණෙන ඇහැට කණට පෙනෙන කාන්තාවන් සහ තරුණියන් විවිධ වචන මාලා සහ දේව ඉල්ලීම් මඟින් රවටා හුදෙකලා කොට ඔවුන් ලිංගික අතවර වලට සහ ශාරීරික හිරිහැරවලට ලක් කිරීමට මෙම පූසාරීන්ගේ හෙවත් දේවගැතියන්ගේ සහ කට්ටඩියන්ගේ අපරාධකාරී පියවරකි.

පූසාරීන්ට තිබේ යැයි කියන අදෘශ්‍යමාන බල වලට බියෙන් හෝ සිදුවන දූෂණ වලට යම් අභිමතයක් දක්වන නිසාදෝ පූසාරි, කපුවන් සහ දේව පුත්‍රයින් විසින් සිදු වන ස්ත්‍රී දූෂණ හෙළිදරව් නොවී යටපත් වෙයි.

කලින් කලට ජනමාධ්‍ය ඔස්සේ ඇසෙන, දකින දූෂිත ක්‍රියා වල කතානායක පූසාරීන් තම ග්‍රහණයට ලක් වන ස්ත්‍රී පාර්ශවයට විවිධ අයුරින් ලාභ ප්‍රයෝජන සපයන බවද සඳහන් වේ. කෙසේ හෝ විවිධ උපක්‍රම මගින් කාන්තාවක් දූෂණයට ලක් කිරීම අපරාධයකි. එවන් අපරාධ සඳහා පූසාරීන් හෝ දේව පුත්‍රයන් දේව බලය නම් වූ සංකල්පය ආයුධයක් ලෙස යොදා ගැනීම නවතා දැමීමට රජය පියවර ගත යුතු බව මාගේ හැඟීමයි.

දේව බල හෝ අදෘශ්‍යමාන බලවේග තිබේ ඇයි පැවසීම සියයට සියයක්ම මිථ්‍යා කතාවකි. අදෘශ්‍යමාන බලවේග තිබෙන බවට පැරණි යුගවල යථාවබෝධයෙන් තොරව විශ්වාස කළා මිස, ඒවා හුදු සංකල්ප පමණි.

එවන් බල සහිත කිසිවකු මිනිසුන් අතරේ නොමැත යන යථාර්ථය අවබෝධ කර ගැනීම සහ පූසාරීන්ගේ කපටිකම් වලට හසු නොවීම දූෂණ සහ අපරාධ වැළැක්වීම සඳහා කාවිසිනුත් ගතයුතු පියවරක් බව සඳහන් කරමි.

හිටපු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ,කාලගුණ විද්‍යාඥ කේ.ආර් අබේසිංහ
අරුමැසි පුවත්