පැය 48ක දුම්රිය වර්ජනය ඇරඹේ; දුම්රිය ධාවනයට දැඩි බාධා

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති සන්ධානය ක්‍රියාත්මක කරන පැය 48ක සංකේත වැඩවර්ජනය ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (17) සහ හෙට (18) දුම්රිය ධාවනයට දැඩි බාධා එල්ල වනු ඇතැයි වෘත්තීය සමිති පවසයි.මෙම වර්ජනය සැප්තැම්බර් 18 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, දුම්රිය රියැදුරන්, පාලකවරුන්, ස්ථානාධිපතිවරුන් ඇතුළු වෘත්තීය සමිති රැසක් ඊට එක්ව සිටින බව වාර්තා වේ. දුම්රිය තාක්ෂණ හා මෙහෙයුම් සේවා සංගමය ද වර්ජනයට සහාය පළ කර ඇති අතර, රියැදුරු සහායකවරුන්, ෂන්ටින් රියැදුරන් සහ අංගන සේවකයන් ද ඊට එක්ව ඇත.වෘත්තීය සමිතිවල ප්‍රධාන ඉල්ලීමක් වී ඇත්තේ වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ධුරයෙන් ඉවත් කිරීමය. ඊට අමතරව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතාට එරෙහිව නිකුත් කර ඇති කරුණු විමසීමේ ලිපිය ඉවත් කිරීම ද ඔවුන්ගේ ඉල්ලීමක් වී තිබේ. වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින පරිපාලන හා මෙහෙයුම් ගැටලු, දුම්රිය අවලංගු වීම් හා ප්‍රමාදවීම්, එන්ජින් හා මැදිරි හිඟය ඇතුළු මගීන්ට බලපාන ගැටලු සම්බන්ධයෙන් දිගින් දිගටම අවධානය යොමු කළ ද ඒ සඳහා ප්‍රමාණවත් විසඳුම් නොලැබුණු බවයි. එමෙන්ම වත්මන් සාමාන්‍යාධිකාරීවරයා සමඟ තවදුරටත් විශ්වාසයෙන් කටයුතු කළ නොහැකි බව ද වෘත්තීය සමිති ප්‍රකාශ කර ඇත. මේ සම්බන්ධයෙන් සැප්තැම්බර් 14 වැනිදා ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවකදී සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට තවත් කාලය අවශ්‍ය බව අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම් දී තිබුණි. එහෙත් වෘත්තීය සමිති එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් වර්ජනය ක්‍රියාත්මක කිරීමට තීරණය කළහ. ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා ද වෘත්තීය සමිති ඉල්ලා සිටින පරිදි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීමට තමන්ට එකඟ විය නොහැකි බව ප්‍රකාශ කර තිබේ. සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කිරීම සම්බන්ධ අවසන් තීරණය ගැනීමේ බලය පවතින්නේ අදාළ පත්කිරීම සිදු කළ කැබිනට් මණ්ඩලයට බව ද වාර්තා වී ඇත. මේ අතර, දුම්රිය වර්ජනය හේතුවෙන් දෛනිකව දුම්රිය භාවිත කරන විශාල මගී පිරිසකට ප්‍රවාහන දුෂ්කරතා ඇතිවිය හැකි බැවින්, අද සහ හෙට විකල්ප ප්‍රවාහන ක්‍රම භාවිත කිරීමට සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. වර්ජනය අවසන් කිරීමට පෙර රජය සහ වෘත්තීය සමිති අතර එකඟතාවක් ඇති නොවන්නේ නම්, පැය 48ක කාලය තුළ දුම්රිය සේවයට සැලකිය යුතු බලපෑමක් එල්ල වීමේ හැකියාව පවතී.

කාලීන පුවත්