ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා සිය දෙවසරක ධුර කාලය අවසන් වීමෙන් පසු එම තනතුරින් ඉවත් වී තිබේ.ඒ අනුව ඔහුගේ ධුර කාලයේ අවසන් දිනය වූයේ පසුගිය ඔක්තෝබර් 30 වැනිදාය.ඔහු එම තනතුරින් ඉවත් වීමත් සමඟ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති ධුරය පුරප්පාඩු වී ඇති අතර, නොවැම්බර් 2 වැනිදා වන විටත් ඒ සඳහා නව සභාපතිවරයකු හෝ වැඩබලන සභාපතිවරයකු නිල වශයෙන් පත් කර නොතිබූ බව වාර්තා වේ.බුද්ධික හේවාවසම් මහතා මීට පෙර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ධුරය ද දැරූ අතර, පෞද්ගලික හා වෘත්තීයමය හේතු මත පසුගිය අගෝස්තු 17 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි එම තනතුරින් ඉල්ලා අස්විය. එම ඉල්ලා අස්වීමෙන් පසුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස සුරංජිත් වීවිත මහතා පත් කරනු ලැබීය.කෙසේ වෙතත්, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති ධුරයේ ඔහු දිගටම කටයුතු කළේය. 2024 ඔක්තෝබර් මාසයේදී හඳුන්වා දුන් ආයතන දෙකෙහිම සභාපති ධුර එකම පුද්ගලයකු යටතේ පවත්වාගෙන යාමේ ක්‍රමවේදය යටතේ ඔහු එම තනතුරු දෙක භාරගෙන තිබිණි.මෙම ඉවත්වීම සිදුවන්නේ ශ්‍රී ලංකාවට වැඩි සංචාරකයන් පිරිසක් ආකර්ෂණය කරගැනීම සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කරගත් ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වන අවස්ථාවකය.විශේෂයෙන් ඉදිරි ශීත ඍතු සංචාරක සමය (Winter Travel Season) ඉලක්ක කරගනිමින් ප්‍රධාන සංචාරක වෙළෙඳපොළ කිහිපයක් වෙනුවෙන් තාවකාලික ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙමින් පවතී. එම වැඩසටහන් මඟින් ශ්‍රී ලංකාවේ සංචාරක ගමනාන්තය පිළිබඳ ජාත්‍යන්තර අවධානය අඛණ්ඩව පවත්වාගෙන යාම අපේක්ෂා කෙරේ.එමෙන්ම 2027 වසරේ මුල් භාගයේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති රුපියල් බිලියන 3.5ක පමණ වටිනාකමකින් යුත් ගෝලීය සංචාරක ගමනාන්ත සන්නාමකරණ වැඩසටහනට පෙර මෙම තාවකාලික ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වන බව ද වාර්තා වේ.