ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සියයට 7කට වැඩි ප්‍රමාණයකින් පහත වැටී තිබේ.ඒ අනුව ජාත්‍යන්තර වෙළෙඳපොළේ ප්‍රධාන බොරතෙල් මිල දර්ශකයක් වන බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 8.66කින් හෙවත් සියයට 7.63කින් පහත වැටී ඩොලර් 104.77ක් දක්වා අඩු වී ඇත.එමෙන්ම ඇමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් මිල දර්ශකය වන වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් (WTI) බොරතෙල් බැරලයක මිල ද සියයට 7.36කින් පහත වැටී ඩොලර් 96.46ක් දක්වා අඩු වී තිබේ. මෙම මිල පහත වැටීම නොවැම්බර් 2 වැනිදා වෙළෙඳ ගනුදෙනු අවසානයේ වාර්තා වූවකි.මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඇමෙරිකාව සහ ඉරානය අතර යළිත් රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කිරීමේ සුබ ලකුණු පහළවීම මෙම මිල පහත වැටීමට ප්‍රධාන හේතුව වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියාන් ප්‍රකාශ කර ඇත්තේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා මගින් අර්බුදයට විසඳුමක් සෙවීමට තම රජය උත්සාහ කරන බවයි. එමෙන්ම සාම සාකච්ඡා සඳහා ඉරාන රජයට අවශ්‍ය බලතල ලබාදී ඇති බව ද ඔහු සඳහන් කර තිබේ.මේ අතර කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් ඇමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා සඳහා අවශ්‍ය පසුබිම සකස් වෙමින් පවතින බව ද වාර්තා වේ. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඉරානය සමඟ එකඟතාවකට පැමිණීමේ හැකියාවක් පවතින බව ප්‍රකාශ කර ඇත.මෙම තත්ත්වය යටතේ ලෝක බලශක්ති සැපයුමට අතිශය වැදගත් හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) යළි විවෘත කිරීම පිළිබඳව ද අවධානය යොමුව තිබේ.ලෝකයේ මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කෙරෙන බොරතෙල් සහ ස්වාභාවික ගෑස් සැපයුමෙන් සැලකිය යුතු කොටසක් මෙම සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කෙරේ. එබැවින් එහි නාවික ගමනාගමනයට බාධා ඇතිවීම ලෝක බලශක්ති වෙළෙඳපොළට සෘජුව බලපායි.ඇමෙරිකාව ඉදිරිපත් කරන කොන්දේසිවලට එකඟතාවක් ඇති වුවහොත් දින දෙකක් ඇතුළත හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට සූදානම් බවට ඉරානය යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන් වේ.කෙසේ වෙතත්, මෙම රාජ්‍යතාන්ත්‍රික ප්‍රගතිය තවමත් අවසන් එකඟතාවක් බවට පත්ව නොමැති අතර මැදපෙරදිග යුද තත්ත්වය පිළිබඳ අවිනිශ්චිතතාව ද පවතී. නොවැම්බර් 3 වැනිදා අලුයම ඇමෙරිකාව ඉරානයේ කෙෂ්ම් දූපතට ප්‍රහාරයක් එල්ල කළ බවට වාර්තා වීමත් සමඟ බොරතෙල් මිලෙහි සුළු ඉහළ යෑමක් ද දක්නට ලැබී තිබේ.ඒ අනුව මැදපෙරදිග යුද තත්ත්වයේ ඉදිරි වර්ධනයන් සහ ඇමෙරිකානු-ඉරාන සාකච්ඡාවල ප්‍රතිඵල ලෝක බොරතෙල් මිල තීරණය කිරීමේදී තීරණාත්මක සාධක වනු ඇතැයි වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.