දිවයින පුරා රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවාවන්හි නිරත සංවර්ධන නිලධාරීන් අද (09) ලෙඩ නිවාඩු වාර්තා කරමින් සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබීම හේතුවෙන් රාජ්‍ය ආයතනවල දෛනික කටයුතුවලට බාධා එල්ල වීමේ අවදානමක් මතුව තිබේ.සංවර්ධන නිලධාරීන්ගේ ඒකාබද්ධ මධ්‍යස්ථානය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් එක්ව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සංවිධානය කර ඇති අතර, වැටුප් විෂමතා, උසස්වීම් ප්‍රමාදය, සේවා ව්‍යවස්ථාවක් නොමැති වීම සහ සේවා ස්ථිර කිරීම සම්බන්ධයෙන් පවතින ගැටලු විසඳන ලෙස බලධාරීන්ට බල කිරීම එහි අරමුණ වී තිබේ.ඒකාබද්ධ සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධම්මික මුණසිංහ මහතා ඊයේ (08) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කර ඇත්තේ සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් සාධනීය විසඳුමක් ලැබී නොමැති බවයි. ඒ අනුව සැලසුම් කළ පරිදි අද වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බව ද ඔහු තහවුරු කර තිබේ.සංවර්ධන නිලධාරීන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වී ඇත්තේ දැනට තමන් අයත් MN-4 වැටුප් කාණ්ඩයට අදාළ වැටුප් ව්‍යුහය සංශෝධනය කර තම අධ්‍යාපන සුදුසුකම් හා සේවා ස්වභාවයට ගැළපෙන වැටුප් ක්‍රමයක් සකස් කිරීමය. එමෙන්ම වසර දහයක පමණ කාල පරතරයකින් සිදුවන ශ්‍රේණි උසස්වීම් ක්‍රමය වෙනුවට වසර පහකට වරක් උසස්වීම් ලබාගත හැකි ක්‍රමවේදයක් සකස් කරන ලෙස ද ඔවුහු ඉල්ලා සිටිති.මීට අමතරව රුපියල් 25,000ක මාසික දීමනාවක් ලබාදීම, සංවර්ධන නිලධාරී සේවය සඳහා විධිමත් සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීම සහ උසස්වීම් සඳහා පැහැදිලි ක්‍රමවේදයක් හඳුන්වාදීම ද ඔවුන්ගේ ඉල්ලීම් අතර වේ.සංවර්ධන නිලධාරීන් පෙන්වා දෙන්නේ තම සේවයට අදාළ නිශ්චිත රාජකාරි සීමාවන් හා වෘත්තීය උසස්වීම් ක්‍රමවේදයක් නොමැති වීම හේතුවෙන් වසර ගණනාවක් එකම තනතුරක රැඳී සිටීමට සිදුව ඇති බවයි. වසරක පුහුණු කාලයක් සම්පූර්ණ කළ පසු සේවයට බඳවාගැනීම හා ස්ථිර කිරීම සම්බන්ධයෙන් ද ගැටලු පවතින බව ඔවුහු පවසති.මෙම ගැටලු සම්බන්ධයෙන් පසුගිය කාලයේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වුව ද ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට ඔවුන්ට නොහැකි වීම නිසා එකඟතාවකට පැමිණීමට නොහැකි වූ බව ද වෘත්තීය සමිති පෙන්වා දෙයි.සංවර්ධන නිලධාරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, අමාත්‍යාංශ හා වෙනත් රාජ්‍ය ආයතනවල විවිධ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටුකරන බැවින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් රාජ්‍ය පරිපාලන කටයුතු මෙන්ම මහජනතාවට සැපයෙන ඇතැම් සේවාවන් ද ප්‍රමාද විය හැකි බවට අවධානය යොමුව තිබේ.විශේෂයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන්, ක්ෂේත්‍ර රාජකාරි සහ ජනතාවට සම්බන්ධීකරණය කර ලබාදෙන ඇතැම් සේවාවන්ට එහි බලපෑම් ඇතිවිය හැකි බව අපේක්ෂා කෙරේ.මේ අතර සංවර්ධන නිලධාරීන්ගේ ගැටලු විසඳීම සඳහා බලධාරීන් සමඟ යළි සාකච්ඡා කිරීමට සූදානම් බව ද වෘත්තීය සමිති පාර්ශ්වය සඳහන් කර ඇත. ඉල්ලීම් සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඉදිරියේදී වඩාත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවීමට සිදුවනු ඇති බවට ද ඔවුහු අනතුරු අඟවති.