සුනඛයන් ලියාපදිංචිය අනිවාර්ය කෙරෙන නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ

ශ්‍රී ලංකාවෙන් ජලභීතිකා රෝගය තුරන් කිරීම, සුනඛ ගහනය විධිමත් ලෙස පාලනය කිරීම සහ සුනඛයන් ලියාපදිංචි කිරීම අනිවාර්ය කිරීම අරමුණු කරගත් ‘ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත’ රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට රජය පියවර ගෙන තිබේ. මෙම පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී ඇති අතර, ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.නව නීතිය මගින් දැනට ක්‍රියාත්මක ජලභීතිකා රෝගය පිළිබඳ ආඥාපනත සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත ඒකාබද්ධ කර නව නීතිමය රාමුවක් ස්ථාපිත කිරීමට යෝජනා කර ඇත.යෝජිත විධිවිධාන අනුව සති හයකට වැඩි වයසැති සෑම සුනඛයකුටම ජලභීතිකා මර්දන එන්නත ලබාදී අදාළ පළාත් පාලන ආයතනයේ ලියාපදිංචි කිරීම අනිවාර්ය වන අතර, එන්නත් සහතිකය මත ලියාපදිංචි අංකයක් හා සහතිකයක් නිකුත් කිරීමට නියමිතය. ලියාපදිංචිය නොකළහොත් දඩ මුදල් පැනවීමේ විධිවිධානද ඇතුළත් වේ.පොදු ස්ථානවල සුනඛයන් අතහැර දැමීම සම්බන්ධයෙන් දඬුවම් පැනවීමටත්, වාණිජ අරමුණු සඳහා සුනඛ අභිජනන මධ්‍යස්ථාන බලපත්‍ර ක්‍රමයකට යටත් කිරීමටත් යෝජනා කර ඇත. එමෙන්ම අයාලේ යන සුනඛයන් වන්ධ්‍යාකරණයට පළාත් පාලන ආයතන මැදිහත් විය යුතු අතර, සුනඛයකුගෙන් සිදුවන හානිය සම්බන්ධයෙන් හිමිකරු වගකිව යුතු බවද කෙටුම්පතේ සඳහන් වේ.ශ්‍රී ලංකාවේ ජලභීතිකා මර්දනය සඳහා දීර්ඝකාලීන රාජ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක වන අතර, 2030 වන විට සුනඛයන්ගේ සපාකෑම් හේතුවෙන් සිදුවන මානව ජලභීතිකා මරණ තුරන් කිරීම ජාතික සෞඛ්‍ය ඉලක්කයක් ලෙසද හඳුනාගෙන තිබේ.

කාලීන පුවත්