නව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයකු පත් නොකළහොත් 17දා වැඩවර්ජනය ස්ථිරයි

දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින පරිපාලනමය ගැටලු විසඳීම සඳහා නව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයකු කඩිනමින් පත් කරනු ඇතැයි අපේක්ෂා කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.එසේ නොවුණහොත් දුම්රිය වෘත්තීය සමිති එක්ව සැප්තැම්බර් 17 වැනිදා සිට පැය 48ක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේය.දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති 24ක් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්වීමට තීරණය කර ඇති අතර, වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ පරිපාලන ක්‍රියාකලාපය හේතුවෙන් දුම්රිය සේවය අර්බුදයකට පත්ව ඇති බවට එම වෘත්තීය සමිති චෝදනා කර තිබේ.දුම්රිය ප්‍රමාද වීම් හා අවලංගු කිරීම්, තාක්ෂණික දෝෂ, අධික තදබදය සහ මගී පහසුකම්වල පවතින අඩුපාඩු ඇතුළු ගැටලු සඳහා නිසි විසඳුම් ලබා නොදීම ද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට හේතු වී ඇතැයි ඔවුහු පෙන්වා දෙති. දුම්රිය සේවයේ පවතින ගැටලු පිළිබඳව හඬ නගන වෘත්තීය සමිති නිලධාරීන්ට එරෙහිව පියවර ගැනීම සම්බන්ධයෙන් ද වෘත්තීය සමිති විරෝධය පළ කර ඇත.මේ අතර, දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින පරිපාලන හා සේවා ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන්ට හෙට (14) ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් ලබා දී තිබේ.එම සාකච්ඡාවේදී තම ඉල්ලීම් සඳහා සාධාරණ විසඳුමක් නොලැබුණහොත්, කලින් ප්‍රකාශයට පත් කළ පරිදි සැප්තැම්බර් 17 සහ 18 යන දෙදින තුළ පැය 48ක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බව වෘත්තීය සමිති පවසයි.දුම්රිය මගී සංගම් ද මෙම ගැටලුව සම්බන්ධයෙන් වෘත්තීය සමිතිවලට සහාය පළ කර ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කරයි. දුම්රිය ප්‍රමාද වීම්, අවලංගු කිරීම් සහ අනෙකුත් සේවා ගැටලු සඳහා දිගින් දිගටම විසඳුම් නොලැබීම හේතුවෙන් තමන් ද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය දක්වන බව මගී සංගම් නියෝජිතයන් පවසා තිබේ.ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනුව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන විධායක නිලධාරීවරයා මෙන්ම ගණන් දීමේ නිලධාරියා ද වන අතර, ඔහු ප්‍රවාහන අමාත්‍යාංශයට සෘජුව වගකිව යුතුය.එම වෙබ් අඩවියේ ජූලි 13 දිනට යාවත්කාලීන කළ තොරතුරුවල දැනට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස රවීන්ද්‍ර පත්මප්‍රිය මහතාගේ නම සඳහන් වේ. වෘත්තීය සමිති විසින් සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කර නව සාමාන්‍යාධිකාරීවරයකු පත් කිරීම ප්‍රධාන ඉල්ලීමක් ලෙස ඉදිරිපත් කර ඇති අතර, වෘත්තීය සමිති නිලධාරියකු සම්බන්ධයෙන් ගෙන ඇති විනය ක්‍රියාමාර්ගයක් අවසන් කිරීම ද ඔවුන්ගේ තවත් ප්‍රධාන ඉල්ලීමක් බව වාර්තා වේ.ඒ අනුව හෙට පැවැත්වෙන සාකච්ඡාව දුම්රිය සේවය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා රජයට සහ වෘත්තීය සමිතිවලට එකඟතාවකට පැමිණීමට ඇති අවසන් අවස්ථාවක් බවට පත්ව තිබේ.

කාලීන පුවත්