වැඩිම කලක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය දැරූ පුද්ගලයා ලෙස ඉතිහාසයට එක් වෙමින් දියවඩන නිලමේ ධුරය සඳහා ප්‍රදීප් නිලංග දෑල මහතා ඊයේ ( 07) තෙවැනි වරටත් එම ධුරයට තේරී පත් විය.මෙම ජයග්‍රහණයත් සමඟ ප්‍රදීප් නිලංග දෑල ට 2035 වසර දක්වා වසර 10 ක කාලයක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය හෙබවීමේ අවස්ථාව හිමි වේ.ඔහු එම වරම හිමි කර ගත්තේ ප්‍රතිවාදී අපේක්ෂකයන්ට වඩා වැඩි ඡන්ද 145ක් ලබා ගනිමිනි. දළදා වහන්සේගේ ගිහි භාරකාරවරයා ලෙස දළදා මාලිගාවේ දියවඩන නිලමේ වරයකු පත්කර ගැනීමේ රැස්වීම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා ගේ ප්‍රධානත්වයෙන් මහනුවර සෙංකඩගල බෞද්ධ මන්දිරයේදී ඊයේ දහවල් 2.30ට ආරම්භ විය.සමස්ත 267 ක් වූ ඡන්ද සංඛ්‍යාවෙන් අපේක්ෂකයන්ට හිමි වූ ඡන්ද සංඛ්‍යාව අනුව ප්‍රදීප් නිලංග දෑල මහතා 195 ක්, දමින්ද උඩුරාවණ මහතා 50 ක්, ඒ.ඩබ්ලිව්.එස් බණ්ඩාරනායක මහතා13 ක් ලෙස ඡන්ද ලබා ගෙන තිබිණ .දියවඩන නිලමේ ධුරය සඳහා ප්‍රදීප් නිලංග දෑල, දමින්ද උඩුරාවණ, ඒ.ඩබ්ලිව්.එස් බණ්ඩාරනායක, මහාචාර්ය තිලක් සුබසිංහ, ගාමිණි කළුහෙන්දිවෙල, රොෂාන් ප්‍රියදර්ශන හා නන්ද මඩුගල්ලේ ඇතුළු අපේක්ෂකයින් කිහිප දෙනෙක් නම් කර තිබුණි.කෙසේ වෙතත්, මහාචාර්ය තිලක් සුබසිංහ, ගාමිණි කළුහෙන්දිවෙල, රොෂාන් ප්‍රියදර්ශන හා නන්ද මඩුගල්ලේ යන මහත්වරුන් ගේ නම් යෝජනා කිරීමට ඡන්ද දායකයන් ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔවුන්ට ඡන්ද විමසීමට සහභාගී වීමට අවස්ථාව හිමි නොවීය.තරිඳු දෑල මහතාගේ නම නාම යෝජනාවක් ලෙස ඉදිරිපත් වුවද, ඔහු පසුව අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස් විය.අවසානයේදී ඡන්ද විමසීමට අවසර හිමි වූයේ වැඩ බලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, දමින්ද උඩුරාවණ සහ ඒ.ඩබ්ලිව්.එස්. බණ්ඩාරනායක යන මහත්වරුන්ට පමණි.ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමීන් වහන්සේ දෙනම, උඩරට රාජධානි බල ප්‍රදේශයට අයත් රජමහා විහාරස්ථානවල ගිහි පැවිදි භාරකරුවන් සහ, බස්නායක නිලමේවරු සහ ප්‍රාදේශීය ලේකම්වරු සුදුසුකම් ලබා සිටියහ.