ප්‍රවීණ මාධ්‍යවේදී දයා සෝමසිරි සදහටම සමු ගනී

ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ සභාපතිවරයකු, සමස්ත ලංකා කවි සම්මේලනයේ සභාපතිවරයකු හා දිනමිණ පුවත්පතේ හිටපු සම කර්තෘ සහ ප්‍රවෘත්ති කර්තෘ වරයකු ලෙස කටයුතු කළ ප්‍රවීණ මාධ්‍යවේදී දයා සෝමසිරි මහතා ඊයේ (26) අභාවප්‍රාප්ත විය.රාගම වල්පොල උපත ලැබූ ඒ මහතා රාගම වල්පොල රජයේ විද්‍යාලය ඇතුළු විදුහල් කිහිපයකින් අධ්‍යාපනය ලබා ඇති අතර,සිය ලේඛක ජීවිතය ආරම්භ කොට ඇත්තේ දස හැවිරිදි පාසල් ශිෂ්‍යයකුව සිටියදී ‘හෙළබිම’ පත්‍රයෙනි. පසුව හෙළ ජීවය, මිහිර සහ ටිකිරි යන ළමා පුවත්පත්වලට දායකත්වය ලබා දුන් ඒ මහතා, ලංකාවේ ප්‍රථම ක්‍රීඩා පුවත්පත ලෙස සැලකෙන ‘ක්‍රීඩා ලෝකය’ පුවත්පතේ නිර්මාතෘවරයා සහ සංස්කාරකවරයා ද වේ.ඉන්පසුව ජැක්සන් සේනාරත්න මහතා යටතේ ‘ඇත්ත’ පුවත්පතේ රාගම වාර්තාකරු ලෙස වෘත්තීය පත්‍ර කලාවට පිවිසි ඒ මහතා පසුව ජනදින, රිවිර, සිරිලක, ඇස සහ සම සමාජය යන පුවත්පත්වල කර්තෘ සහ ප්‍රවෘත්ති කර්තෘ ධූරයන් හොබවා ඇත. වෘත්තීය ජීවිතය තුළ පෑගෙන ජනතාවගේ, ගොවීන්ගේ සහ කම්කරුවන්ගේ ගැටලු වෙනුවෙන් හඬ නැඟූ ඔහු, පාර්ලිමේන්තු විවාද සහ රාජ්‍ය තාන්ත්‍රික රැස්වීම් වාර්තා කිරීමේ සූරයකු ලෙස ද ප්‍රකට ය.සිය මාධ්‍යවේදී සහෘදයන් විසින් “දයා”යන නමින් හඳුන්වනු ලැබූ සැබෑම දයාවන්තයකු වූ ඔහු මාධ්‍යවේදියකුට අමතරව දක්ෂ තරග විස්තර ප්‍රකාශකයකු වූ අතර කලක් ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ ලේකම්වරයා ලෙස ද සේවය කළේය. දේශපාලනික වශයෙන් ද ක්‍රියාකාරී වූ ඔහු 1997 වසරේදී ජාඇල ප්‍රාදේශීය සභාවට තේරී පත් විය. වමේ නායකයන්ගේ දේශපාලන වේදිකාවක වාර්තාකරණයේ යෙදී සිටියදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් සිය එක් ඇසක පෙනීම අහිමි වුවද, ඔහු දිගටම සිය මාධ්‍ය මෙහෙවරේ නිරත විය.දයා සෝමසිරි මහතා ‘අන්න අන්න හඳහාමි’, ‘රිදී සීනුව’ සහ ‘නොසිඳෙන මතක’ ඇතුළු කෘති කිහිපයක කතෘවරයා ද වේ. ඒ මහතා සිව් දියණියන්ගේ සහ එක් පුතකුගේ පියෙකි. දියණියන් දෙදෙනෙකු වන සමන්මලී ප්‍රියශාන්ති ප්‍රවෘත්ති කර්තෘවරියක ලෙස සහ රන්මලී සෝමසිරි ද මාධ්‍යවේදිනියක දැනට ‘දිනමිණ’ කර්තෘ මණ්ඩලයේ සේවය කරයි.මිය යන විට ඒ මහතා 78 වන වියේ පසු විය.අංක 69/14/A, ලේක් සයිඩ් වත්ත,වල්පොල බටුවත්ත නිවසේ තැන්පත් කර ඇති ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (28) බදාදා සවස 5.00ට බටුවත්ත පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත ය.

කාලීන පුවත්