පාස්කු ප්‍රහාරයට යටිතල පහසුකම් ජාතික ජන බලවේගයෙන්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සඳහා අවශ්‍ය වූ පුපුරණ ද්‍රව්‍ය එක්රැස් කිරීම, මරාගෙන මැරෙන බෝම්බකරුවන් තෝරා ගැනීම සහ ප්‍රහාරක ඉලක්ක තීරණය කිරීම යනාදී සියලුම මූලික මෙහෙයුම් සහරාන් හෂීම් විසින්ම සිදු කර ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් මෙන්ම රුපියල් මිලියන 300කට අධික මූල්‍යමය ප්‍රතිපාදන ජාතික ජන බලවේගයට සම්බන්ධ දේශපාලනඥයෙකු වන මොහොමඩ් ඊබ්‍රහීම් විසින් සපයා ඇති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සාක්ෂි සහිතව පෙන්වා දී තිබේ. ජාත්‍යන්තර අයි.එස්.අයි.එස්. (ISIS) සංවිධානයේ ශ්‍රී ලංකා නායකයා ලෙස සහරාන් මෙම ප්‍රහාරය මෙහෙයවා ඇති බැවින් ඔහු හැර වෙනත් මහ මොළකරුවෙකු නොමැති බවත්, මේ සම්බන්ධයෙන් තමා සතුව අමෙරිකා එක්සත් ජනපදයේ අධිකරණයක් ඉදිරියේ ලබා දුන් දිවුරුම් ප්‍රකාශයක් පවා පවතින බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කොට තිබේ.

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරු හෙවත් මහ මොළකරු පිළිබඳව අනාවරණය කරමින් උදය ගම්මන්පිල මහතා විසින් රචිත “පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යාම” පර්යේෂණාත්මක ග්‍රන්ථය ඊයේ (31) වන දින නිල වශයෙන් එළිදැක්වූයේ එම අවස්ථාවේදීය. මෙම පොත් එළිදැක්වීම කොළඹ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදී සිදු කරන ලදී.

මේ අතර, සිය ග්‍රන්ථය ජනගත කිරීම වැළැක්වීමේ අරමුණින් මාර්තු 27 වන දින රජය තමන්ව අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ බවටද ගම්මන්පිල මහතා මෙහිදී චෝදනා කළේය. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඔහු රජයට අභියෝග කර සිටියේ තමන්ව අත්අඩංගුවට ගෙන පෙන්වන ලෙසත්, මීට පෙර අවස්ථා හයකදී ගත් එවැනි උත්සාහයන් අසාර්ථක වූ බවත්ය.

මෙම එළිදැක්වීම සඳහා හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් පිරිසක් එක්ව සිටිනු දක්නා ලදී.

කාලීන පුවත්