පැරසෙටමෝල් විස වීමේ සිට බළලුන් ගැන නොදත් කතා

සුරතලයට බළලුන් ඇති කරන බොහෝ දෙනෙක් නොදන්නා කරුණු කිහිපයක් තියනවා.අපි මේ කතාව ඉන් ප්‍රධාන කරුණකින්ම පටන් ගනිමු.පැරසෙටමෝල් සහ ඇස්ප්‍රින් අඩංගු ඖෂධ බළලුන්ට ඉතාමත් විෂ සහිතයි. එවැනි ඖෂධ දීමෙන් බළලුන් මිය යාමට බොහෝ ඉඩකඩක් පවතිනවා.සුනඛයන්ට තරම් බළලුන්ට මැක්කන් බෝවන්නේ නෑ. නමුත් ඉඳහිට බළලුන්ගේ සිරුරේ විශේෂයෙන් කන් අයිනේ මෙවැනි සතුන් දැකිය හැකියි. නමුත් සුනඛයන්ට මැක්කන් සඳහා යොදන බෙහෙත් වර්ග බළලුන්ට දැමීමත් කොහෙත්ම සුදුසු වන්නේ නෑ. ඒ, බළලුන්ට එම රසායනික ද්‍රව්‍ය ඉතා අහිතකර වී උන්ගේ මරණය සිදුවන්නට පවා ඉඩ ඇති නිසයි. එබැවින් බළලුන්ට මැක්කන් වැනි සතුන් බෝවී සිටියහොත් පශු වෛද්‍යවරයකුගේ උපදෙස් මත ප්‍රතිකාර කළ යුතුයි.
දැන් අපි බළල් සුරතලුන්ට ආවේණික ගති ගුණ ටිකක් ගැනත් කතා කරමු.
සුනඛයන්ට තරම් බුද්ධියක් බළලුන්ට නෑ. ඒක ඇත්ත.නමුත් තමුන්ගේ හාම්පුතුන් කියන යම් යම් දේවල් වටහා ගන්න බළලාට හැකියාව තිබෙනවා. එකම නිවසක බළලුන් කිහිප දෙනෙක් ඇතිදැඩි කරන විට ඔවුන්ට වෙන වෙනම නම් යෙදුවත් කලක් ගත වෙද්දී ඒ අතරින් තමන්ගේ නම කුමක්ද යන්න හඳුනා ගැනීමට බළලුන්ට හැකියාව තිබීම මෙයට එක උදාහරණයක්. සුනඛයන් වගේම බළලුන්ද තමන්ගේ හාම්පුතුන්ගේ එදිනෙදා ජීවිතයේ යම් යම් රටාවන් වටහා ගන්නට දක්ෂයි. නිදසුනක් විදිහට තමන්ගේ නිවසේ තමාට බෙහෙවින් ලෙන්ගතු දරුවකු උදේට පාසල් ගොස් දවල්ට ආපසු නිවසට පැමිණෙන වෙලාව වන විට බළලා මිදුලේ රැඳී පෙරමඟ බලා හිඳීම සිරිතක්. තමාට කෑම බීම දෙන කාන්තාව රැකියාවට යන කෙනෙක් නම් ඇය සවසට ආපසු නිවසට එන වෙලාවත් බළලා දන්නවා. මෙසේ තමා ප්‍රිය කරන අය නිවසින් පිටට ගියාම නැවත ආපසු එනතෙක් බලා හිඳ ඔවුන් පැමිණෙන විට පෙර මගට ගොස් “ඤාව්” යනුවෙන් කෑ ගසමින් ඔවුන් පිළිගැනීම බළලාගේ පුරුද්දක්.
ඒ වගේම තමන් අකමැති දෙයක් තමන්ගේ හාම්පුතුන් තමන්ට කරන විට බළලා ඒක මතක තියාගන්නවා. නිදසුනක් විදියට බළලාගේ අසනීපයකට ආහාර වේලෙන් පසු ව බෙහෙත් පොවන්නේ නම් එය පහසුවෙන් කළ හැක්කේ පළවෙනි හෝ දෙවෙනි වේල වනතෙක් පමණයි. ඉන්පසු බළලා ආහාර ගන්නා විට තමා අසලින් එහා මෙහා යන ගෙදර කාන්තාව දෙස බලන්නේ සැකයෙන්. ආහාර වේල ගෙන අවසන් වූ පසු ඇය තමා අසලට එනු යන්තමින් හෝ දුටුවොත් බළලා පැන දුවන්නේ ඇයට අල්ලා ගන්නට නොහැකි වන අන්දමට යි.
අනෙක් සතුනට අනුව බලන විට බළලා පිරිසිදුවට ඉන්න කැමති සතෙක්. ආහාර ගෙන අවසන් වූ ගමන්ම බළලා කරන පළමු කාර්යය වන්නේ තමාගේ ශරීරය ලෙව කා ගනිමින් පිරිසිදු කර ගැනීමයි. බොහොම පුංචි කෑමක් කෑවත් බළලාගේ මේ පුරුද්ද පවතිනවා. ඒ වගේම තමයි බළලුන් මෙසේ තමන්ගේ සිරුර ලෙව කා ගනිමින් පිරිසිදු කර ගැනීමේ පුරුද්ද ඉතා කුඩා කාලයේ පටන්ම බළලුන් තුළින් දැකිය හැකියි.
බළලුන් නිතරම පිරිසිදු වතුර බොන්න කැමතියි. වැඩුණු බළලුන්ට කිරි දීම අවශ්‍ය නෑ. දිනකට කෑම වේල් දෙකක් දීම ප්‍රමාණවත්.
වයස මාස හය පමණ වන විට බළල් පිරිමි සතුන් වගේම ගැහැනු සතුන් ද පරිණත භාවයට පත් වෙනවා. ඒ කාලයේදි තමයි ඔවුන්ගේ ප්‍රජනන සමය ආරම්භ වන්නේ. ඉන් පසුව මාස තුනකට වතාවක් ප්‍රජනන සමය ඇති වන අතර ඒ කාලයේ බළල් ගැහැනු සතුන්, පිරිමි සතුන් හා එක්වීම සිදු වෙනවා. ඔවුන්ගේ ගර්භනී කාලය මාස දෙකයි. පැටවුන් ලැබී මාස දෙකක් පමණ ගත වන විට නැවත ඔවුන් පිරිමි සතුන් හා එක්වීම සිදුවෙනවා.
ඔබ බළල් ගැහැනු සතකු ගෙන් පැටවුන් අපේක්ෂා කරන්නේ නැත්නම් උගේ වයස මාස පහේදී වඳ සැත්කමකට භාජනය කිරීම සුදුසුයි. එසේ නැතිනම් පැටවුන් නොලැබීම සඳහා එන්නතක් ලබාදිය හැකියි. මේක අපේ කාන්තාවන්ට දරු උපත් පමා කිරීම සඳහා දෙන ඩිපෝප්‍රොවේරා එන්නතමයි. බළල් ගැහැනු සතාට අවශ්‍ය ප්‍රමාණය පශු වෛද්‍යවරයා විසින් ලබා දෙනවා. මේ එන්නත මාස පහකට වරක් දීමෙන් පැටවුන් බිහි වීම වළක්වන්න පුළුවන්. නමුත් එක දිගටම වසර ගණනාවක් මේ එන්නත දීම පශු වෛද්‍යවරුන් අනුමත කරන්නේ නෑ.ඒ, එම එන්නත නිසා සතාට විවිධ අතුරු ආබාධ හට ගැනීමට ඉඩකඩක් තිබෙන නිසයි. එබැවින් ගැහැනු සතුන් වඳ සැත්කමකට භාජනය කරවීම ඔබට වගේම එම සතාටත් පහසුවක්, යහපතක් වේවි.
ප්‍රජනන සමයේ දී පිරිමි සතුන් බොහෝ සෙයින් අයාලේ යනවා. ඒ වගේම අනෙක් පිරිමි සතුන් සමග පොර කා ගනිමින් බොහෝ තුවාල ද සිදුකර ගන්නවා . මේ සියල්ලටම වඩා බොහෝ දෙනෙක් බළලුන් ප්‍රිය නො කරන්නේ මෙම ප්‍රජනන කාලයට බළල් පිරිමි සතුන් ගෙවල් අවට සහ වහලවල් උඩ සැරිසරමින්, මහ හඬින් නඟන අමිහිරි නාදයටයි. එපමණක් නොවෙයි ඇතැම් විට ප්‍රජනන සමයේදී පිරිමි සතුන්, ගැහැනු සතුන් සිටින නිවෙස්වලට ගොස් ලැගුම් ගැනීමට ද ඉඩ තිබෙනවා. එවිට ඔබේ බළල් සුරතලා ඔබට අහිමිව යන්නටත් පුළුවන්. මේ තත්ත්වයන් වළකා ගත හැකි පහසු ක්‍රමයක් වන්නේ පිරිමි සතුන්ද සැත්කමකට භාජනය කරවීමයි. එවිට ඔය කරදර බොහෝ සෙයින් අඩු වන අතර පිරිමි සතුන් ද ගැහැනු සතුන් මෙන් නිවසේ වැඩිපුර රැඳී සිටින්නට පෙළඹේවි.
තමන්ගේ හාම්පුතාගේ ආදරය වගේම අවධානය ලබන්නටත් බළලුන් හරිම කැමතියි. නමුත් උන්ගේ ඉරියව් ඉක්මනින් වෙනස් වෙනවා .ඒ වගේම උන්ට හරි ඉක්මනට කේන්තිත් යනවා. ඒ නිසා ඔබ ඕනෑවට වඩා ඔබේ බළල් සුරතලා අතගාන්නට ගියොත් ඌට ඒක හිරිහැරයක් විදිහට දැනෙන්නට ඉඩ තිබෙනවා .එවිට ඌ ඔබව සිරීමට හෝ අතේ නියපොතු වදින අන්දමින් පහර ගැසීමට හෝ සැපීමට පසුබට වන්නේ නෑ. බළලුන් වඩාත්ම කැමති උගේ නිකට යටින් බෙල්ලත්, පපුවත් අත ගාන වි⁣ටයි. ඒ කොහොම වුණත් උන් මිරිකන්නට, තදින් අත පත ගාන්නට ගියොත් බළලාට කේන්ති යනවා . කුඩා දරුවන් නිතරම බළලාගේ සීරීම් වලට සපාකෑම් වලට ලක්වන්නේ මේ හේතුව නිසයි. බළලා වඩාත්ම කැමති එවැනි කිසිවකින් තොරව නිදහසේ ස්වාධීනව ඉන්නටයි.
කාර්යබහුල ඔබේ ජීවිතයට සතුටක් ලබා දෙන්න, විවිධත්වයක් එකතු කරන්න ඔබේ බළලා සමත් වේවි. නමුත් උගේ උල් නිය පොතු මුවහත් කරගන්න ඔබේ වටිනා භාණ්ඩවල නියපොතු තදින් අතුල්ලමින් ඒවා සූරා දමන්නට ඉඩ තිබෙන නිසා එවැනි වටිනා දේ ප්‍රවේශම් කරගන්නට ඔබට සිදුවේවි. බළලුන්ට ආදරය කරන ඔබට උන්ගේ එවැනි දඟ වැඩත් ටිකක් ඉවසන්න සිදු වෙනවා. නමුත් ඒ පාඩු අභිබවා යන සතුටකින් ඔබේ සිත පුරවාලන්නටත්, ඔබේ ආතතිය දුරු කිරීමටත් මේ සුරතල් බළලා සමත් වේවි.
පශු වෛද්‍ය උපදෙස් ඇසුරිනි.
ඉන්දු පෙරේරා

සතුන්ටත් හිමි අපේ ලෝකය