අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ සිදුව ඇති වංචා සහ දූෂණ හෙළිදරව් කළ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා අපහාසයක් සිදු වූ බවට ලද පැමිණිල්ලක් මත ගම්පොල පොලිසියට කැඳවීම අනීතික ක්‍රියාවක් බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.තරිඳු ජයවර්ධන මහතාට අද (26) දින ප්‍රකාශයක් ලබා දීමට පැමිණෙන ලෙස ගම්පොල මූලස්ථාන පොලිසිය විසින් දන්වා තිබේ. තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් එම්.එෆ්.එම්. ෆසීර් මහතාගේ අත්සනින් යුතුව පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති එම ලිපියෙහි සඳහන් වන්නේ, මෙම කැඳවීම සම්බන්ධයෙන් බරපතළ නෛතික සහ ආරක්ෂක ගැටලු පවතින බවයි.
එමෙන්ම තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පෙන්වාදෙන්නේ යම් විමර්ශනයක් සඳහා පුද්ගලයෙකු කැඳවීමේදී අදාළ චෝදනාව පිළිබඳ ප්‍රමාණවත් දැනුවත් කිරීමක් සිදු කළ යුතු බවට පොලිස්පතිවරයා නිකුත් කර ඇති RTM 101 සහ RTM 61 චක්‍රලේඛ මෙම පණිවුඩය මගින් උල්ලංඝනය කර ඇති බවකි.ඉහත පැමිණිල්ල සිදු කළේ කවුරුන්ද? යන්න හෝ අසත්‍ය තොරතුර කුමක්ද? යන්න එහි සඳහන් කර නොමැති බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සිය ලිපිය මගින් සඳහන් කර තිබේ.
නමුත් පසුව කරන ලද විමසීම්වල දී හෙළි වී ඇත්තේ, අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ කළමනාකරු සහ ව්‍යාපෘති සම්බන්ධීකාරක විසින් මෙම පැමිණිල්ල සිදු කර ඇති බවකි.
අම්බුළුවාව භාර අරමුදල යනු රාජ්‍ය ආයතනයක් වන අතර එහි සේවකයන් රජයේ සේවකයන් ලෙස සැලකෙන බවත් 2002 වසරේ සිට සාපරාධී අපහාසය දණ්ඩ නීති සංග්‍රහයෙන් ඉවත් කර ඇති බැවින්, අපහාසයක් සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් කිරීමට පොලිසියට බලයක් නොමැති බවත් එම සංගමය අවධාරණය කරයි.මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා මීට පෙර අම්බුළුවාව ප්‍රදේශයේ වාර්තාකරණයට ගිය අවස්ථාවකදී, එහි ප්‍රධාන පිවිසුම අසලදී පිරිසකගෙන් තර්ජන එල්ල වී තිබුණු බව පෙන්වා දෙන එම සංගමය මෙම පසුබිම තුළ ඔහු නැවත ගම්පොලට ගෙන්වා ගැනීම තුළින් ඔහුට යම් අනතුරක් කිරීමේ සැලසුමක් පවතීදැයි සැකයක් පවතින බව ද අවධාරණය කරයි.කෙසේ වෙතත් එවන් අපහාසයක් සම්බන්ධයෙන් විමර්ශන කිරීමට පොලිසියට හැකියාවක් නොමැති බැවින් තරිඳු ජයවර්ධන මහතාගෙන් ප්‍රකාශයක් නොගෙනම මෙම පැමිණිල්ල අවසන් කළ යුතු බවට තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇති අතර තරිඳු ජයවර්ධන මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය නම්, එය ආරක්ෂිතව කොළඹ පොලිස් මූලස්ථානයේදී සිදු කිරීමට අවස්ථාව සලසා දිය යුතු බව එම සංගමය සඳහන් කරයි. ඒ අතරේ අම්බුළුවාව ආයතනය මගින් පොදු දේපොළ අවභාවිත කිරීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව ද සිය ලිපිය මගින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.