බුදු මඟට පිටු පාන කප් රුක් පූජාව

kapruk

නිරෝධායන ඇඳිරි නීතිය නිම වී රට විවෘත කිරීමත් සමඟ අනුරාධපුර ඇතුළු බෞද්ධ පුද බිම් ජනයාගෙන් පිරෙන්නට පටන් ගනිමින් තිබේ.

එසේ අනුරාධපුරයට කණ්ඩායම් වශයෙන් පැමිණෙන බෞද්ධ බැතිමතුන් කප්රුක් පූජා නමින් ඔවුන් විසින්ම හඳුන්වා ගනු ලබන පූජාවකට මහත් උනන්දුවෙන් සහභාගී වනු දැකිය හැක. මෙම කප්රුක් පූජාව යනු දාගැබ් වල බඳ වටා ප්‍රදේශයේ තිරස් අතට අදිනු ලබන රෙදි පූජාවයි.

මෙය “වටතිර පූජා” නමින් ද හැඳින්වේ. මෙම කප්රුක් හෙවත් වටතිර පූජාවන් වැඩි වශයෙන් රුවන්වැලි සෑය, මිරිසවැටිය, ථුපාරාමය, යන අනුරපුර දාගැබ් වලට සේම කැළණි දාගැබ, මහියංගණ දාගැබ,මිහින්තලා දාගැබ ආදී සොළොස්මස්ථානයන්ට අයත් දැගැබ් වලට සිදුකිරීම ජනප්‍රිය බෞද්ධ චාරිත්‍රයක් වී තිබේ.

එයින් සුවිශේෂී වශයෙන් රුවන්වැලි සෑයට කරනු ලබන කප්රුක් පූජා, ෂඩ් වර්ණයෙන් යුතු කොඩි ලෙස ද කහපාටින් යුතු රෙදි ලෙස ද දක්නට පුළුවන. වස්ත්‍ර පූජා කිරීමෙන් ශරීර වර්ණය මෙන්ම දිව්‍ය සළු පිළි ආදිය ද ලැබෙන බව බුදු දහමෙහි සඳහන් යැයි එම පූජා සංවිධානය කරන්නෝඅ කියති.

“අන්‍නදො බලදො හොති
වත්‍ථදො හොති වණ්ණදො
යානදො සුඛදො හොති
දීපදො හොති චක්‍ඛුදො”

යන ගාථාවට අනුකූලව “ආහාර පූජාවෙන් ශරීර ශක්තියද, වස්ත්‍ර පූජාවෙන් ශරීර වර්ණයද, යාන වාහන පූජාවෙන් සැපයද, පහන් පූජාවෙන් ප්‍රඥා චක්‍ඛුසය ද ලැබෙන බව ද දහමෙහි සඳහන් වන බව සඳහන් පත්‍රිකා ද බෞද්ධයන් අතරේ බෙදා හැර තිබේ.

මේ අනුව බොහෝ දායකයන් යථොක්ත දෑ තෙරුවන් උදෙසා පූජා කිරීමට දැඩි රුචිකත්වයක් දක්වනු ලබන අතර විශේෂයෙන් කප්රුක් පූජා කිරීමෙන් සිතු පැතු සම්පත් ලබා ගැනීමට හැකි වන බව විශ්වාස කරනු ලැබේ.

නමුදු ඉහත සඳහන් ගාථා පාඨය අපගේ බෞද්ධයන් මුලා කිරීම සඳහා ත්‍රිපිටකයෙන් උපුටා ගෙන සාවද්‍ය ලෙස ඉදිරිපත් කිරීමක් බව බොහෝ දෙනෙක් නොදනිති. සංයුක්ත නිකායට අයත් දේවතා සංයුක්තයේ ආදිත්ත වග්ගයේ කිංදද සූත්‍රයේ එන ඉහත සඳහන් ගාථා කණ්ඩය දානය සම්බන්ධයෙන් දේවතාවකු විසින් අසන ලද ප්‍රශ්නයකට බුදුන් වහන්සේ ගේ පිළිතුර බව ඉතා පැහැදිලි ය.

ඒ අනුව ඉහත සඳහන් ආහාර, වස්ත්‍ර, යාන වාහන සහ පහන් පූජා මහා සංඝරත්නයට ශසනිකව පූජා කරන ලද ඒවා මිස දාගැබ් සඳහ සිදුකරන ලද නිරර්ථක පූජා බව දහමෙහි කිසිම තැනක සඳහන් නොවේ.

මෙහි දැක්වෙන පහන් පූජාව වුව රාත්‍රී කාලයට භික්ක්‍ෂූන් වැඩවෙසෙන ආරාම ප්‍රදීපාලෝකයෙන් පහන් කරවීම බව මූලික බුදු දහමෙහි පැහැදිලිවම දක්වා තිබේ.

ඒ අනුව වර්තමාන කප්රුක් පූජාවේ අනුහස් දැක්වීම සඳහා එම ගථාව යොදා ගැනීමම බරපතල ශාසනික අවභාවිතාවක් බව කිව යුතු ය. එමෙන්ම මෙය බෞද්ධයන් අන්ධ භක්තියට යොමුකරවීමේ උපාය මාර්ගයක් ලෙස ද සැලකිය හැක.මල්, පහන්, සුවඳ දුම්, ගිලන්පස ආදිය බුදුන් උදෙසා පූජා කිරීමේ පැරණි සම්ප්‍රදායක් බෞද්ධ සමාජයේ තිබේ.

එහෙත්, එය තෙරුවනෙහි ගුණ සඳහා කෙරෙන සංකේතාත්මක උපහාරයකි. ඒ අනුව එය වත්මන් කප්රුක් සහ වටතිර පූජා සමඟ කෙසේවත් සැසඳිය නොහැක.නමුදු මෙම ශාසනික විනාශය සඳහා නූතනයේ ජනකාන්ත බවට පත් භික්ෂුන් කිහිප නමි ද මුල් වී කටයුතු කරනු පෙනෙයි.

මේ අතර කඨින පිංකම් ආදියෙහි බෞද්ධයන් විසින් සඟසතු කරන කප්රුක් විශේෂයක් ද තිබේ. බොහෝ ශ්‍රී ලාංකික බෞද්ධයෝ මෙවැනි කප්රුක් පූජා කරන විට විශේෂී වූ ගස් වර්ගයකින් බොහෝ අතුරිකිලි ඇති අත්තක් කපාගෙන එහි පත්‍ර යම් ප්‍රමාණයකින් අඩු කරගෙන එහි විවිධ වර්යේ පූජා භාණ්ඩ එල්ලති.

ඊට අමතරව ගරු ලඝු භාණ්ඩ ද සකස් කොට කප්රුක් ගසේ එල්ලීමට බර වැඩි බැවින් එම කප්රුක් ගස පාමුල තබා පූජා කරති. මෙවැනි කප්රුක් පූජා බොහෝ විට කරනු ලබන්නේ වස් වසන ලද භික්ෂූන් වහන්සේලාගේ පරිහරණය පිණිස ය.

කඨින පූජා පිංකම් පැවැත්වෙන අවස්ථාවේදී විශේෂ වශයෙන් එම කප්රුක් පූජා පැවැත්වීම තුළින් බලාපොරොත්තු වනුයේ කඨින චීවර පූජා පිංකමෙන් ලැබෙන්නා වූ ආනිශංස මෙම කප්රුක් පූජාව කිරීම තුළින් මහත්ඵල මහානිශංස බවට පත්කර ගැනීමයි.

පුද පූජා යනු ලොව සෑම ආගමකම දැකිය හැකි පොදු ලක්‍ෂණයකි. නමුදු මෙහි සත්‍ය තත්ත්වය නම් මෙම බොහෝ පුද පූජා ලොව ආගම් නිර්මාණය වීමටත් පෙර සිට පැවතීම ය. ඒ අනුව මානව විද්‍යාත්මකව බලන විට අපට වැටහී යනුයේ පුද පූජා නිසා ආගම් හට ගැනීමක් මිස ආගම් නිසා පුද පූජා හට ගෙන නොමැති බවකි.

නමුත් හුදු ආගමකට වඩා ඥානවිමංසාවක් ( Epistemology) ලෙස සමාජ හා මානව විද්‍යාඥයන් විසින් හඳුනාගෙන ඇති මූලික බුදු සමය තුළ මෙම පුද පූජා ඇත්තේම නැති තරම් ය. සමාජ විද්‍යාවේද දැක්වෙන අන්දමට මෙම පුද පිදවිලි හඳුන්වනු ලබනුයේ අභිචාර ( Ritual) යනුවෙනි. මෙම අභිචාර යන්නෙහි අර්ථය යථාර්ථය ඉක්මවූ චර්යාවන් යන්න ය. හුදු යථාර්ථවාදී දහමක් වන මූලික බුදු සමයෙහි මෙවන් පුද පූජා වලට තැනක් හිමි කොට නොමැත්තේ එබැවිනි.

මංගල සූත්‍රයේ එන පූජාච පූජනීයානං ආදී සඳහන් වලට අනුව පිදිය යුත්තන් පිදිය යුත්තේ වර්තමාන කප්රුක් පූජා පවත්වන ආකාරයට නොවේ. එම පූජාව තුළින් එය ලබා ගන්නා තැනැත්තාට ද යම් ප්‍රතිඵලයක් ඇති විය යුතුය. බුදු දහමෙහි බෙහෙවින් අගය කරන දාන සංකල්පය පිළිබඳව අපි විමසා බලමු.

මෙම දානය යන්න පාලියෙන් හැඳින්වෙනුයේ දක්ඛිණා යනුවෙනි. දක්ඛිණා යනු එය පුදන්නාට මෙන්ම ලබන්නාටද ප්‍රතිඵලදායක වූ ආචාර විධියකි. එහෙත්, ඉහත සඳහන් වටතිර පූජා ආදියෙන් එය පුදනු ලබන ථුපයට අත්වන යහපත කුමක්ද? ඇතැමුන් පවසන අන්දමට එම වටතිර ඇදීම බුදුන් හට කරනු ලබන පූජාවක් සේ සැලකිය යුත්තකි.

එසේ නම් අප ඒ කරනුයේ බුදු සිරුරේ බෞද්ධ කොඩියක් හෝ කහ රෙද්දක් ඔතා බුදුන් ඒ තුළ සිදුකිරීමක් නොවේද? එය බුදුන්ට කරන පූජාවක් ද නැතහොත් හිංසාවක් ද යන්න බුද්ධියෙන් සිතා බැලිය යුතු ය.

මේ අතර පුරාණ ස්ථුප මුල්කොට රුපියල් ලක්‍ෂ ගණන් වැය වන පලතුරු පූජා ඖෂධීය, ශාක පූජා ආදී නිරර්ථක කටයුතු නූතන බෞද්ධ ජනප්‍රිය සංස්කෘතිකාංගයක් බවට පත්ව තිබේ.

එය අන්ධ භක්තිකයන්ගේ සිත් පිනවන්නක් වූවද ඒ යාන්ත්‍රණය තුළ මහාපරිමාණයේ ජාවාරම් සිදුවෙමින් පවතී. ඒවාට සම්බන්ධ විවිධ පාර්ශවයන් අන්ධ භක්තිකයන් විසින් ඒ සඳහා වැය කරනු ලබන මුදල් සූක්ෂම ලෙස මංකොල්ල කෑම ප්‍රසිද්ධ රහසක් බවට පත්වෙමින් තිබේ.

එලෙස පැරණි ස්ථූප සඳහා පලතුරු පූජාවෙන් රූප සම්පත්තිය ලැබෙන බවටත් ඖෂධ ශාක පූජාවෙන් නිරෝගී බව ලැබෙන බවටත් සංවිධානාත්මක ලෙස පතුරුවනු ලද දුර්මත වලින් අද වන විට බෞද්ධ සමාජය බරපතල ව්‍යාකූලත්වයකට පත්ව ඇත.

යම් හෙයකින් බුදුන් වහන්සේ ජීවමානව වැඩසිටියේ නම් පැරණි ස්ථුප මුල් කොට සිදුකරනු ලබන මෙවන් නිරර්ථක ක්‍රියා අනුමත කරනු ඇතැයි අපට කෙසේ නම් සිතිය හැකිද?

එහිදී උන් වහන්සේ දේශනා කරනු ඇත්තේ බුදු දහම තුළින් අපේක්‍ෂිත විමුක්තිය ලබා ගැනීම පිණිස එහි දැක්වෙන චිත්ත දමනය මුල් කොට ගත් සදාචාර්යාත්මක චර්යා පද්ධතියකින් මිස මෙවන් ගුප්ත විශ්වාස මත පදනම් වූ නිසරු පුද පිළිවෙත් වලින් හැකියාවක් නොලැබෙන බව ය.

ඒ නිසා මේවා සංවිධානය කරනු ලබන, මේවා දිරිමත් කරනු ලබන ගිහි පැවිදි පිරිස් හඳුනාගනිමින් ඔවුන්ගෙන් සැබෑ බුදු දහමට සිදුවන බරපතල හානිය පිටුදැකීමට අපගේ පැවිදි ගිහි සියලු පාර්ශවයන්ගේ එකමුතු බව හා කැපවීම වැදගත් අවශ්‍යතාවක්ව පවතී.

කදුරුපොකුණේ සුමංගල හිමි

පහන් ටැඹ