භක්ති ගැන පද්මිණී ගේ හදවතේ උපන් සෝ සුසුම

වසර 2000 දශකයේ මුල් භාගයේ මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසි යොවුන් නවක මාධ්‍යවේදීන් අතරේ සිටි විසි එක් වියැති භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් නම් පිරිපුන් යෞවනයා සෙස්සන් සිය ගණනක් අබිබවා වේගයෙන් ඉස්මතු වූයේ එවක සිටි ප්‍රවීණයන් ගේ දෙනෙත් විස්මයෙන් පුළුල් කරමින් .ඒ ඔහු මාධ්‍ය ක්ෂේත්‍රයේ අංශ කිහිපයකටම මනා දක්ෂතාවයන් පළ කිරීම හා මාධ්‍යවේදියකුට උරුම විය යුතු සුහද සමාජශීලිත්වය එඩිතර බව මධ්‍යස්ථ භාවය යන සුදුසු කම් කිහිපයක් එක් වර සපුරා තිබීම නිසයි.ඒ සඳහා ඔහු ගේ ආදරණීය පියාණන් වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුගතපාල මෙන්ඩිස් සූරීන් ගෙන් සහ භක්ති අධ්‍යාපනය ලැබූ ගාල්ල රිච්මන්ඩ් විදුහලෙන් යම් සාධනීය බලපෑමක් එල්ල වුණා වෙන්න පුළුවන්. 2000 වසරේ දී දිනපතා ලක්බිම පුවත්පතේ සමාරම්භක කර්තෘ මාණ්ඩලිකයෙකු ලෙස පුවත්පත් කලාවට එක්වූ භක්ති පසුව දිනමිණ හා රිවිර යන පුවත්පත්වල වගේම හිරු ගුවන් විදුලියේත් සේවය කරමින් මාධ්‍ය ක්ෂේත්‍රයට නොමියෙන් මෙහෙවරක් ඉටු කළා.

නමුත් කිසිවෙක් සිහිනයකින් වත් අපේක්ෂා නොකළ රිය අනතුරක් හේතුවෙන් බරපතළ තුවාල ලබා දින විසි තුනක් තිස්සේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි භක්ති පසුගිය 03.දා අප අතරින් සදහටම වෙන් වුණා.ඔහු ගේ අකල් මරණය වෙනුවෙන් ප්‍රකම්පිත වූ සහෘදයන් සිය ගණනකගේ උනුසුම් සෝ සුසුම් සමාජ මාධ්‍ය ඇතුළු විවිධ තැන් වල සටහන් වන අතරේ ඔහු හා එකම වකවානුවක ලක්බිම කර්තෘ මණ්ඩලයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී පද්මිණී මාතරගේ තැබූ සංවේදනාත්මක සටහනක් අද අපි ඔබ වෙත ඉදිරිපත් කරනවා.තමන් ගේ මාධ්‍ය ජීවිතය තුළ අප රටේ දුක් විඳින කම්කරු ජනතාවගේ සෝ සුසුම් නිවීම පිණිස වැඩිම අකුරු ප්‍රමාණයක් ලියූ සංවේදී කවි කමක් ද උරුම කොට ගත් පද්මිණී මේ වන විට ආචාර්ය අනිල් ජයන්ත කම්කරු අමාත්‍ය වරයා ගේ මාධ්‍ය ලේකම් වරිය ලෙස කටයුතු කරනවා.

නොමළ සෙනෙහස

නුඹ නොඑන වග දනිමි
ඒත්..කෙදිනක හෝ නුඹ එතැයි…
මඟ බලා හිඳිමි….
නුඹ නාවොතින්ම නම්
නුඹ සොයා එමි..
ඒ සොඳුරු දින දක්වා
ඉන්න තැනක
සතුටින්ම ඉන්න
භක්ති මල්ලි…
සිනාසෙමු අපි එදිනට
ඇති තරම් ලක්බිමේදි මෙන්..
මළ හිරු බසින මේ දුක්බර නිමේෂයේ
නුඹේ චිතකය දැවී
ඉහළ නගිනා දුම්‍ රොටු දිගේ
මගේ ආදරේ එවමි
බොහෝ සෙනෙහසින්

පද්මිණී මාතරගේ

wall එක