හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතියේ නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි නිවෙසක පදිංචි වූ බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි. හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු, ඔවුන්ට රජයෙන් ලබා දී තිබූ නිවාස ඇතුළු පහසුකම් අහෝසි කිරීම මත රාජපක්ෂ මහතා කොළඹ 07, විජේරාම පෙදෙසේ පිහිටි රජයේ නිල නිවෙසින් පසුගිය සැප්තැම්බර් 11 වන දින පිටව ගිය අතර විජේරාම නිවෙසින් ඉවත් වීමෙන් පසු, හිටපු ජනාධිපතිවරයා කෙලින්ම තංගල්ලේ පිහිටි කාල්ටන් නිවෙස වෙත ගොස් මාස තුනකට අධික කාලයක් එහි රැඳී සිටියේය. කෙසේ වෙතත්, දේශපාලන කටයුතු පහසු කර ගැනීමට සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුව සලකා බලා, ඔහු නැවත කොළඹ පදිංචියට පැමිණි බව ආරංචි මාර්ග තවදුරටත් වාර්තා කරයි.නුගේගොඩ, මිරිහාන ප්‍රදේශය රාජපක්ෂ පවුලේ සාමාජිකයන් වන චමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ දශක ගණනාවක් පැරණි වාසස්ථානයකි. මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුස්තකාල සහායක වරයකු ලෙස සේවය කළ සමයේ ද සිය දෛනික ගමන් බිමන් ආරම්භ කළේ මිරිහාන නිවෙසේ සිට බව ද පැවසෙයි.කෙසේ වෙතත්, මෙම නව පදිංචියත් සමග තංගල්ලේ පැවති ඔහුගේ ප්‍රචාරණ ව්‍යාපාරය අවසන් වන බවත්, නව නිවෙසට අමුත්තන් ගේ පැමිණීම සීමා වන බවත් වාර්තා වේ.