ලෙඩුන්ට බෙහෙත් ලියන දොස්තරලාට කියා ගොවීන්ට පොහොරත් ලියවා ගත්තාද?

මහ කන්නය ආරම්භ වීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණකි. නැගෙනහිර පළාතේ වී ගොවියෝ මහ කන්නය කලින්ම ආරම්භ කරති. ඔක්තෝම්බර් 15 දා සිට ඔවුහු මහ කන්නය සඳහා වැඩට බසිති.

අම්පාර, මඩකලපුව ගොවියන් එසේ ගොවිතැන් ආරම්භ කරද්දී ඒ මඟ යමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවියෝ ද මෙම මස අවසානයට ළගා වෙද්දී මහ කන්නය ආරම්භ කරති.

වී ගොවිතැන පමණක් නොව එළවළු ඇතුළු අනෙකුත් කෘෂි බෝග වෙනුවෙන් ද මහ කන්නය පවතී. අතීතයේ මහ කන්නය යනු වැඩිම අස්වැන්නක් වෙනුවෙන් ගොවීන් වැඩි වෙහෙසක් දරා කරනා ව්‍යායාමයකි. සිංහල – දමිළ අලුත් අවුරුද්ද ඉලක්ක කර ගනිමින් මහ කන්නය වෙනුවෙන් කැප වන ගොවියා යල කන්නයේදී වැඩි මහන්සියක් නොගෙන ගොවිතැන් අරඹයි.

කාලාන්තරයක් පුරා පැවැති සම්ප්‍රදාය මෙවර බිඳ වැටී ඇත්තේ පොහොර නොමැතිවීම හේතුවෙනි. වත්මන් රජය බලයට පැමිණිමට පෙර ප්‍රකාශ කළේ රුපියල් 350 ට පොහොර ලබා දෙන බව ය. පොහොර නොමිලේ ලබා දෙන බවට ද යම් යම් පිරිස් ප්‍රකාශ කර තිබුණි. ආණ්ඩුව බලයට පත්වී වසරක් ගත වන්නටත් පෙර රසායනික පොහොර තහනම් කිරීමට රජය පියවර ගත්තේ ය.

රසායනික පොහොර තහනම් කරමින් කෘෂිකර්ම අමාත්‍යාංශය ගැසට් පත්‍රයක් නිකුත් කළේ 2021 මැයි මාසයේදී ය. එදා කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ කීවේ කාබනික පොහොර දිරි ගැන්වීම උදෙසා මෙම පියවර ගත් බව ය.

එහෙත් සමහරකු මෙය අර්ථ දක්වන ලද්දේ යමකුට හුස්ම ගැනීමේ පහසුව උදා කරන්නට ඒ තැනැත්තාගේ බෙල්ල කැපීමක් ලෙසය.නමුදු කාබනික පොහොර රට තුළ නිෂ්පාදනය කිරීම උදෙසා ගොවීන් දෙලක්ෂ පනස් දහසක් රට තුළ ඇති කරන බවත් එක් ගොවියෙකුට රුපියල් ලක්ෂ දෙකක මුදලක් කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කිරීම වෙනුවෙන් ලබා දෙන බවත් ඔහු කීවේය.

නමුත් කාබනික පොහොර නිෂ්පාදනය කිරීම වෙනුවෙන් කිසිදු මුදලක් තවමත් කිසිදු ගොවියෙකුට ලැබී නැත. දැන් කෘෂිකර්ම ඇමතිවරයා කියන්නේ ගොවිජන සේවා මධ්‍යස්ථානයට එක ගොවියෙකු බැගින් තෝගාගෙන කාබනික පොහොර නිපදවීමට යොදවන බවය.නමුදු ව්‍යාපාරික මට්ටමේ වානිජ බෝග වගා කාබනික පොහොර මඟින් පමණක් සිදු කළ හැකි ද යන්නත් ප්‍රශ්නයකි.

එය කෙසේ වෙතත් තවමත් රට තුළ ගොවිතැනට අවශ්‍ය තරම් කාබනික පොහොර නිපදවන්නේ නැත. සරලව කීවොත් මේ වන විට කිසිදු පොහොරක් රට තුළ නැත. රසායනික පොහොර තහනම් නිසා එය රට තුළ තිබිය නොහැක. කාබනික පොහොර නිපදවනවා කීවාට නිපදවූ කාබනික පොහොරක් ද නැත.

කෘෂිකර්ම ඇමතිවරයා කියා සිටින්නේ ඹක්තෝම්බර් 12 දා වන විට ඉන්දියාවෙන් කාබනික පොහොර ගෙනවිත් දෙන බව ය. නමුත් තවමත් කිසිදු ඇනවුමක් කළ බවක් සදහන් වන්නේ නැත. මෙරට පවතින ශාක නිරෝධායන පනත අනුව හිතු මනාපෙට පොහොර ගෙන්විය නොහැක. විශේෂයෙන්ම කාබනික පොහොර ගෙන්වීමට ප්‍රථම එහි සාම්පල ජාතික ශාක නිරෝධායන සේවයට යවා මෙරට පසට අහිතකර දේ තිබේදැයි පරික්ෂා කළ යුතු ය.

චීන කාබනික පොහොරවලට වූයේ ද එයමය. චින කාබනික පොහොර ඇණවුම් කළද එහි සාම්පල පරික්ෂා කිරීමේදී මෙරට පසට විස සහිත ක්ෂූද්‍ර ජීවියෙකු සිටින බවට වාර්තාවීම හේතුවෙන් චීන කාබනික පොහොර ප්‍රතික්ෂේප කරන්නට සිදුවිය.ඒ අතර චීනය තමන්ගේ පොහොර ගන්න ලෙස රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් බල කිරීම් වලට පවා පෙළඹී සිටියි.

ගොවීන් පොහොර ඉල්ලා දේව කන්නලව් කරන තැනට අද පත්ව ඇත්තේ මහ කන්නය ආරම්භ කිරීමට පොහොර නොමැතිවීම හේතුවෙනි. ගොවීහු පාරට බැස උද්ඝෝෂණය කරති.

පොහොට්ටුවට ඡන්දය දුන් අත තලා ගන්නට සිතෙනවා යැයි කියති. අර්බුදය දිනෙන් දින උග්‍රවනවා මිස පිළිතුරක් ලැබී නැත. ඉන්දියාවෙන් පොහොර ගෙන්වීමට පෙර එහි සාම්පල පරික්ෂා කළ යුතුය. 12 දා ට පොහොර ගොවීන්ට දෙන්න නම් සාම්පල රටට පැමිණ මේ වන විට පරික්ෂා කොට අවසන් මට්ටමේ පැවැතිය යුතුය. එය සිදුව නොමැත.

මහ කන්නයට ගොවීන්ට පොහාර දෙන්න නම් ශාක නිරෝධායන සේවයට යොමු කොට පරික්ෂා කිරීම නතර කොට ආනයනය කරන කාබනික පොහොර බෙදා හැරිය යුතුය. එය කළ හැකි අවස්ථාව මේ වන විට පසු වෙමින් තිබේ.

සමහරුන් කියන්නේ මෙය රටේ කෘෂිකර්මය ගැන දොස්තරලාගෙන් උපදෙස් ගැනීම නිසා ඇති වූ විපරීතයක් බවය.අප රටේ කෘෂි විශේෂඥයන්  කෘෂිකර්මය ගැන නොදන්නා බවට රජයට අතිශය පක්ෂපාතී වෛද්‍යවරයකු කියනු ලදුව සමහරෙකු සිතන්නේ රජය දැන් කෘෂිකර්මය සම්බන්ධයෙන් ද ඒ වෛද්‍ය වරයාගෙන් තවත් වෛද්‍ය”උපදෙස් ගන්නා බවකි.

කාබනික පොහොර නොමැතිකමින් එළවළු ගොවීන්ගේ වගාවන් විනාශ වී තිබේ. ඵලදාව අඩුවී තිබේ.

ගොවීන් පවසන ආකාරයට එළවළු අස්වැන්න සියයට 80 කින් පහත ගොස් ඇත. ලොකු ලූණු රතු ළුණු ගාණට කුඩා වී ඇත.වම්බටු එළ බටු ගාණට කුඩා වී ඇත. වී ගොවියා මහ කන්නය ද මෙලෙස ආරම්භ කළහොත් ලබන වසරේ සහල් හිගයක් ඇතිවීම කෙසේ වත් වැලකිය නොහැක.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ කියන්නේ රසායනික පොහොර තහනම යනු ජනාධිපතිවරයා “අමාරුවේ දැමීමට” කිසිවෙකු විසින් දුන් වැරදි උපදෙසක් බවය. එසේම රසායනික පොහොර නොමැතිවීම හේතුවෙන් රට තුළ සාගතය ඇතිවීමේ අවදානමක් ඇතැයි ද ඔහු කියා සිටියි.

සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල තීරණය කිරීමේ වගකීම සමාගම් වෙත පැවරූ රජය ගොවීන්ට ද කියා සිටිනුයේ කෙසේ හෝ පොහොර සොයා ගෙන ගොවිතැන් කොට අස්වැන්න ලබා දෙන ලෙස විය යුතුය.

වත්මන් රජය කිසිදු ගැටළුවකට මැදිහත් වන ආකාරයක් පෙනෙන්නට නැත. මේ ගමන් කරනුයේ අගාධයට මිස ඉහළට නොවන බව පැහැදිලිය.

ලබන වසරේ සාගයක් පැමිණිය හොත් එයට වැරදිකරුවන් වනු ඇත්තේ ගොවීන්ම වනවාට කිසිදු සැකයක් නැත. ආණ්ඩුව එහි වගකීමත් ගොවීන් පිට දමා අතසෝදා ගනු ඇත.

මක් නිසා ද යත් අප රටේ නැති බැරි ජනතාව අනුන්ගේ ඕනෑම පව් කන්දක් කරට ගැනීමට නිබඳවම සැදී පැහැදී හිඳින බැවිනි.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර