මහ රැජින ඝාතනය කිරීමේ සැලැස්මක් ගැන වසර 40 කට පසු හෙලි වූ කතාවක්

දෙවැනි එළිසබෙත් මහ රැජින ඝාතනය කිරීම සඳහා වූ සැලැස්මක් ගැන විස්තරයක් ඇතුළත් ලියවිල්ලක් එම සිද්ධියෙන් වසර 40 කට පසු ප්‍රසිද්ධියට පත් කර තිබේ. මෙතෙක් රහසිගත ලියවිල්ලක් ලෙස පැවැති මෙය මේ ආකාරයෙන් ප්‍රසිද්ධ කරනු ලැබ ඇත්තේ ඇමරිකාවේ ෆෙඩරල් විමර්ශණ කාර්යාංශය (FBI- Federal Bureau of Investigation) විසිනි. මෙම ලියවිල්ලට අනුව මහ රැජිනට මෙවැනි තර්ජනයක් එල්ල වී තිබී ඇත්තේ 1983 වසරේ ඇය සහ ඇයගේ සැමියා වූ පිලිප් කුමරු ඇමරිකාවේ කළ සංචාරයක් අතරතුර ය.

විවිධ අවස්ථාවල මහ රැජින ඇමරිකාවේ සිදු කළ නිල සංචාර අතරතුර ඉහත කී විමර්ශණ කාර්යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද ආරක්‍ෂක ක්‍රියාමාර්ග ඇතුළත් පිටු 103 ක ලේඛන එකතුවක් පසුගිය දා එම කාර්යාංශය ඔවුන්ගේ The Vault නැමැති වෙබ් අඩවියකට මුදාහැර තිබිණි. කලින් සඳහන් කළ ඝාතන සැලැස්ම ගැන විස්තරය ද අඩංගු වී ඇත්තේ ඉන් එක් ලියවිල්ලක යි.

1983 වසරේ මහ රැජින සහ පිලිප් කුමරු සංචාරය කර තිබුණේ ඇමරිකාවේ වෙස්ට් කෝස්ට් (West Coast) නැමැති ප්‍රදේශයේ යි. ඉහත කී ලියවිල්ලට අනුව මෙම සංචාරයට මාසයකට පමණ කලින් සැන් ෆ්‍රැන්සිස්කෝ හි පොලිස් නිලධාරියකුට යම් දුරකතන ඇමැතුමක් ලැබී තිබිණි. මෙම පොලිස් නිලධාරියා එකල ඉතා ප්‍රබල සන්නද්ධ සංවිධානයක් වූ අයි.ආර්.ඒ. ÎRA- Irish Republican Army) සංවිධානයේ සාමාජිකයන් නිතර යන එන සමාජ ශාලාවකට යාමට පුරුදු වී සිටි කෙනෙකි. කලින් සඳහන් කළ දුරකතන ඇමැතුම පොලිස් නිලධාරියාට ලබා දී තිබුණේ මෙම සමාජ ශාලාවේ දී හඳුනාගත් පුද්ගලයෙකි. අයි.ආර්.ඒ. සංවිධානය එකල උතුරු අයර්ලන්තය මත බ්‍රිතාන්‍යයේ ආධිපත්‍යයට එරෙහිව සටන් කළ සංවිධානයකි.

උතුරු අයර්ලන්තයේ ගැටුම් අතර රබර් උණ්ඩයක් වැදී ඔහුගේ දියණියක මියගිය බවත්, තමා ඊට පලි ගැනීමට සූදානම් වන බවත් ඉහත කී පුද්ගලයා පොලිස් නිලධාරියාට පවසා තිබිණි. මෙම ඇමතුම ලැබී තිබුණේ 1983 වසරේ පෙබරවාරි 4 වැනි දින යි. මහ රැජින සහ පිලිප් කුමරු වෙස්ට් කෝස්ට් ප්‍රදේශයේ සංචාරය කිරීමට යොදාගෙන තිබුණේ මාර්තු මාසයේ ය. ඉහත කී සැන් ෆ්‍රැන්සිස්කෝ පොලිස් නිලධාරියා තමාට ලැබුණු මෙම දුරකතන ඇමැතුම ගැන පසුව ෆෙඩරල් විමර්ශණ කාර්යාංශයට දැනුම් දී තිබිණි.

‘දුරකතන ඇමැතුම ලබා දුන් පුද්ගලයා රැජිනගේ ජීවිතයට හානියක් කිරීම සඳහා උත්සාහයක් දැරීමට සූදානම්ව සිටියා. මහ රැජින රැගත් බ්‍රිටනියා නැමැති රාජකීය යාත්‍රාව ගෝල්ඩන් ගේට් පාලම යටින් ගමන් කරද්දී එම යාත්‍රාව මතට යමක් හෙලීමෙන් හෝ ඇය යොස්මයිට් ජාතික වනෝද්‍යානයේ සංචාරය කරද්දී හෝ රැජින ඝාතනය කිරීමට උත්සාහ කිරීමටයි ඔහු සූදනම්ව සිටියේ’ ෆෙඩරල් විමර්ශණ කාර්යාංශ ලියැවිල්ලේ එසේ සඳහන් වේ.

කෙසේ හෝ වේවා, මෙම තර්ජනය බැරෑරුම්ව ගැනීමට ආරක්‍ෂ අංශ පියවර ගෙන තිබිණි. ඔවුන් මහ රැජින රැගත් යාත්‍රාව ඉහත සඳහන් කළ ගෝල්ඩන් ගේට් පාලම යටින් ගමන් කිරීමට ආසන්න වෙද්දී එම පාලම මතින් දිවෙන මාර්ගය වසා දමා තිබූ බව වාර්තා වේ. නමුත් යොස්මයිට් උද්‍යානය සම්බන්ධයෙන් ගන්නා ලද පියවර ගැන එම ලියවිල්ලේ පැහැදිලිව සඳහන් නොවන බව පැවසේ. කෙසේ වෙතත් රැජිනගේ සංචාරය නියමිත ආකාරයෙන් පැවැත් වී තිබිණි. කිසිදු සිද්ධියක් සිදු නොවූ අතර කිසිවකු අත්අඩංගුවට ගැනීමක් ගැන ද සදහන් නොවිණි.

මෙම ඝාතන තර්ජනය ගැන වාර්තා වූ 1983 වසරට වසර හතරකට පෙර මහ රැජිනගේ ඥාතියකු වූ ලුයී මවුන්ට්බැට්න් සාමිවරයා ද අයර්ලන්ත රිපබ්ලිකන් හමුදාව විසින් ඝාතනය කරනු ලැබිණි. මේ නිසා මහ රැජින ඝාතනය කිරීමේ සූදානම ගැන ලැබුණු ඉහත ඔත්තුව පිලිබඳව දැඩි අවධානයෙන් සිටීමට ආරක්‍ෂක අංශවලට සිදු විය.

1979 වසරේ මවුන්ට්බැට්න් සාමිවරයා ඝාතනය කරන ලද්දේ තෝමස් මැක්මහොන් නැමැති අයි.ආර්.ඒ. සාමාජිකයා විසින් අටවන ලද බෝම්බයක් පුපුරුවා හැරීමෙනි. මෙම සිද්ධිය සිදු වූයේ සාමිවරයා අයර්ලන්තයේ නිවාඩුවක් ගත කරමින් සිටියදී යි. ඔහුගේ මරණය සිදු වූ දින ඔහු තවත් කිහිප දෙනෙකු සමග බෝට්ටුවක නැගී පොකිරිස්සන් ඇල්ලීම සඳහා ගොස් තිබිණි. නමුත් ඊට පෙර දින රාත්‍රියේ ඉහත කී මැක්මහෝන් මෙම බෝට්ටුවට ඇතුල් වී ගුවන් විදුලි තරංග මගින් පුපුරුවා හැරිය හැකි බෝම්බයක් එහි අටවා තිබී ඇත. බෝට්ටුව වෙරළේ සිට ටික දුරක් ගමන් කිරීමෙන් පසු බෝම්බය පුපුරුවා හරිනු ලැබිණි. එවකට 79 වැනි වියෙහි පසු වූ මවුන්ට්බැට්න් සාමිවරයාගේ දෙපා සිරුරෙන් වෙන් වීමට ආසන්න තරමට තුවාල සිදුව තිබිණි. වතුරට වැටී සිටි ඔහු ගොඩගෙන තිබුණේ ඒ ආසන්නයේ සිටි ධීවරයන් ය. ඔවුන් සාමිවරයා වෙරළට ගෙන ආ නමුත් ඒ වෙද්දී ඔහු මියගොස් තිබිණි.

සාමිවරයාගේ දියණිය පැටි්‍රෂියා, ඇයගේ සැමියා වූ බ්‍රැබෝන් සාමිවරයා, ඔවුන්ගේ නිවුන් දරුවන් වූ නිකලස් සහ තිමති, බ්‍රැබෝන් සාමිවරයාගේ මව ඩොරීන් සහ පෝල් නැමැති තවත් 15 හැවිරිදි යෞවනයෙක් එම අවස්ථාවේ බෝට්ටුවෙහි සිටියහ. මෙම සිද්ධියෙන් නිකලස් සහ පෝල් ද එම අවස්ථාවේ ම මිය ගියහ. සෙසු පිරිස ද බරපතල තුවාල ලැබූ අතර ඩොරීන් එම තුවාල හේතුවෙන් පසුව දා මරණයට පත් විය.

මවුන්ට්බැට්න් සාමිවරයා ආසියාව තුළ වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ ඉන්දියාවේ යටත්විජිත සමයේ සිටි අවසන් බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ලෙසිනි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර