ට්රැක්ටර් වලට සවිකළ වින්ච් යන්ත්ර යොදාගනිමින් සිදුකරන මාදැල් ධීවර කර්මාන්තයට වත්මන් ආණ්ඩුව පනවා ඇති තහනම ඉවත් කරන්නැයි ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය අසල ධීවරයන් සිදු කරන උද්ඝෝෂණය හේතුවෙන් විශාල මහජන පීඩාවක් සිදුවන බැවින් එය නවතන ලෙස නියෝගයක් නිකුත් කරනැයි පොලීසිය සිදුකළ ඉල්ලීමක් අධිකරණය විසින් අද( 10) ප්රතික්ෂේප කර තිබේ.කොටුව පොලිස් ස්ථානය මගින් කොටුව මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අදාළ ඉල්ලීම මහේස්ත්රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ප්රතික්ෂේප කර ඇත.
අදාල මෝසම සලකා බැලූ මහේස්ත්රාත්වරයා ජනතාවට සාමකාමී උද්ඝෝෂණ සිදු කළ හැකි බවත් උද්ඝෝෂණය කිරීම ජනතාව වෙත ඇති අයිතියක් බවත් ප්රකාශ කරමින් එම ඉල්ලීම ප්රතික්ෂේප කොට තිබේ නමුදු උද්ඝෝෂකයන් විසින් මංමාවත් පනත, පොලිස් ආඥා පනත ඇතුළු නෛතික විධිවිධාන උල්ලංඝනය කරමින් මහජන පීඩාවක් ඇතිවන අයුරින් උද්ඝෝෂණය සිදු කරන්නේ නම් පොලිස් බලතල අනුව ක්රියාත්මක වන ලෙසද මහේස්ත්රාත්වරයා කොටුව පොලිසියට නියෝග කොට තිබේ.ට්රැක්ටර්වලට සවිකළ වින්ච් යන්ත්ර යොදාගනිමින් සිදුකරන මාදැල් ධීවර කර්මාන්තයට වත්මන් ආණ්ඩුව පනවා ඇති තහනම ඉවත් කරන ලෙස බලකරමින් මාදැල් ධීවරයින් අඛණ්ඩව අද (10) හයවන දිනටත් මෙම සත්යග්රහය ක්රියාත්මක කර ඇත.