මා නැවත කතරගම බස්නායක නිලමේ නිලවරණයට එන්නේ නැහැ

රුහුණු කතරගම දේවාලයට ලැබෙන පුද පඬුරු උපයෝගී කරගෙන තමන් ප්‍රජා සංවර්ධන කටයුතු කළේ ඒ දෙවියන්ට පින් දෙවියන්ට ලබාදීමට මිස නැවත බස්නායක නිලමේ ඡන්දයට ඉදිරිපත් වීමේ අපේක්ෂාවෙන් නොවන බවත් එම ප්‍රජා සංවර්ධන කටයුතු පෙන්වා දේශපාලනයට ඇවිත් පව් පුරවා ගන්න තරම් තමා බොළඳ නොවන බවත් එමෙන්ම තමන් නැවත බස්නායක නිලවරණයකට තරඟ නොකරන බවත් රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කරයි.එහි දී වැඩි දුරටත් අදහස් පළ කළ ඔහු මෙසේ කීය.
“මා 2020 දි බස්නායක නිලමේ ලෙස පත් වුණේ උතුම් කතරගම දෙවියන්ට පින් ලැබෙන දේවල් කරන්න. මගේ ධුර කාලය වසර 05 ක් වුවත් පැවති කොරෝනා වසංගතය, රටේ පැවති ආර්ථික අරගලය හමුවේ වසර 03ක කාලයක් තමයි වැඩ කරන්න හැකි වුණේ. මම කරපු සේවා මුළු රටේම ජනතාව දන්නවා. මට කවුරුත් ආශීර්වාද කරනවා. කරපු වැඩ ගැන සතුටු වෙනවා. මම නැවත බස්නායක නිලවරණයකට එන්නේ නැහැ. දේශපාලනඥයෝ වගේ මම කරපු වැඩ ගැන කිය කියා හැසිරෙන්නේ නැහැ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව බස්නායක නිලවරණයක් තියලා නව බස්නායක නිලමේ වරයකු තොරා ගැනීමේ අයිතිය රජයටයි තියෙන්නේ”
බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා ඒ බව පවසා සිටියේ සිය නිල මැඳුරේ පැවති හමුවකදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතරු දෙමිනි.

කාලීන පුවත්