මෑත කාලීන දේශපාලනයේ ප්‍රබලතම භූමිකාවක් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ නිජබිම සේම රාජපක්ෂ පවුල් දේශපාලන බලකොටුව සේ සැලකෙන වීරකැටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් මැද මුලන කොට්ඨාශයේ බලය ද මෙවර පළාත් පාළන ඡන්ද විමසීමේ දී ඔවුන් ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ගිලිහී තිබේ.මෙම ඡන්ද විමසීමට අනුව ජාතික ජනබලවේගය එම කොට්ඨාශයේ ඡන්ද 1115 ක් හිමි කරගෙන ඇති අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හිමි කර ගත හැකිව තිබෙන්නේ ඡන්ද 768 ක් පමණි.ඒ සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමේ දී මේ වන විට රට තුළ පවත්නා නව දේශපාලන සංස්කෘතිය තුළින් පවුල් වාදය ඉවත් වීම ඊට හේතු වන බව පවසා ඇති එම ප්‍රදේශ වල තරුණ පිරිස් වැඩි දුරටත් පවසා ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මුල් කොට නව දේශපාලන සංස්කෘතියක් බිහි කළ යුතු 1980 දශකයේ උපන් එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවා තවමත් තම පරම්පරා සාටකය කර ලා ගෙන දේශපාලන කටයුතු වල යෙදීම නූතන තරුණයන් ඔවුන් ප්‍රතික්ෂේප කිරීමට හේතු වී ඇති බවකි.ඒ අනුව ඒ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු නායකයන් තම දේශපාලනය නූතනවාදී මුහුණු වරකට අනුව සකසා නොගත හොත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලෙස සමාජගත වන රාජපක්ෂ පවුල් දේශපාලනය තව නොබෝ කලෙකින් මෙරටින් අතුරුදන් වන බව ද එම ප්‍රදේශයේ තරුණ පිරිස් පවසති.මේ අතර තවත් පිරිසක් පවසනුයේ මෙරට සිංහල බෞද්ධ පදනමින් යුත් ජාතිකත්ව දේශපාලනය තුළ හෙළ නරපතියන් ආදර්ශ කොට ගත් දේශපාලනයක් මඟින් නාමල් රාජපක්ෂ මහතාට ද ඉදිරි ගමනක් ඇති බව ය.