මිනිසුන්ට වගේම සුරතල් සතුන්ටත් රක්තහීනතාවය, බරවා වැනි රෝග හටගත හැකියි

rakthahinathwa

අපි මුලින්ම රක්තහීනතාවය ගැන කතා කරමු.
මිනිසුන්ට වැළඳෙන රක්තහීනතාවය (Anemia ) අපට සුපුරුදු වදනක්. විවිධ හේතු රාශියක් මේ සඳහා මුල් ⁣වෙන්න පුළුවන්.
මිනිසුන්ට පමණක් නොවෙයි බළලුන් සුනඛයන් වැනි සතුන්ටද රක්තහීනතාවය වැළඳීම සුලබ තත්ත්වයක්. නමුත් රක්තහීනතාවය රෝගයක් ලෙසින් සෘජුවම පැවසිය නොහැකි අතර මෙය වෙනත් රෝගයක රෝග ලක්ෂණයක් ලෙසිනුයි හටගන්නේ . මෙහි දී සිදු වන්නේ රුධිරයේ ඇති රතු රුධිරානු ප්‍රතිශතය හෝ හිමොග්ලොබින් ප්‍රතිශතය එසේත් නැත්නම් එම දෙවර්ගයෙහිම හීනතාවයක් ඇති වීමයි.
රුධිරයේ ඇති රතු රුධිරානු සහ හිමොග්ලොබින් සිරුර තුළ ඔක්සිජන් පරිවහනය කෙරෙහි බලපාන සාධකයි. අවශ්‍ය ප්‍රතිශතයට ඒවා සිරුර තුළ තිබිය යුතුයි. එසේ නොවුණහොත් ඔක්සිජන් පරිවහනය අඩාල වෙනවා. සිරුර තුළ ඔක්සිජන් පරිවහනය නිසි පරිදි සිදු නොවීම නිසා ඇති වන ලක්ෂණ මේ අනුව සතුන් කෙරෙන් ද දැකිය හැකියි.

රක්තහීනතාවයෙන් පෙළෙන සතුන් තුළ ඇති වන ලක්ෂණ මොනවාදැයි බලමු.
ක්‍රියාශීලී බවක් නොමැතිව එක තැනම රැඳී සිටීම, මළානික ගතියක් දිස් වීම මෙහිදී ප්‍රධාන වශයෙන්ම දැකිය හැකි ලක්ෂණයි. ඊට අමතරව ඇසේ යට පියන පහතට ඇද බලන විට ඇස් බෝලයට යටින් පෙනෙන රතට හුරු තද රෝස පැහැය සුදුමැලි පැහැයෙන් හෝ ළා රෝස පැහැයෙන් දිස් වීම තවත් ලක්ෂණයක්. රක්තහීනතාවය ඉතා තදබල ආකාරයෙන් පවතින විට ඇස් බෝලය යට එම කොටස තනිකරම සුදු පැහැයකට හැරීම සිදු වෙනවා.

දැන් අපි රක්තහීනතාවය ඇතිවීමට බලපෑ හැකි හේතු සොයා බලමු.

* හදිසි අනතුරක් හෝ වෙනයම් හේතුවක් නිසා රුධිර වාහිනීවලට හානි වීමෙන් විශාල රුධිර වහනයක් සිදුවීම

* සතුන්ගේ සම මත මැක්කන් කිනිතුල්ලන් වැනි පරපෝෂිතයන්ගේ ගහණය

* සිරුර තුළ කොකුපණුවන් හිඳීම

* කිනිතුලු උණ රෝගී තත්ත්වයේ රෝග ලක්ෂණයක් ලෙස හට ගැනීම
* අන්ත්‍රවල, වකුගඩු හෝ ප්ලීහාවේ හටගෙන ඇති පිළිකා තත්ත්වයක් හේතුවෙන් ඇතිවන රෝග ලක්ෂණයක් ලෙස ඇති වීම

* රුධිරය කැටි ගැසීමේ අක්‍රමිකතා හේතුවෙන් නාසයෙන් හෝ ගුද මාර්ගයෙන් රුධිරය වහනය වීම හේතුවෙන්

* ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දෝෂ

* මීපාසානම් වැනි විෂ වර්ග ශරීරගත වීමෙන් පසුව

රක්තහීනතාවයට ප්‍රතිකාර

ඉතා දරුණු ආකාරයට පවතී නම් රුධිර පාරවිලනය සිදුකිරීම අත්‍යවශ්‍යයි. එය පහසුකම් ඇති රෝහලක් තුළ දී සිදුකළ යුතුයි. මීට අමතරව යම් රෝගී තත්ත්වයක් හේතුවෙන් රක්තහීනතාවය පවතී නම් එම රෝගී තත්ත්වය හඳුනාගෙන ඊට ප්‍රතිකාර කිරීමද අවශ්‍ය වෙනවා. මෙය ඇතිවී තිබෙන්නේ පෝෂණ ඌනතාවන් හේතුවෙන් නම් එම තත්ත්වය මර්දනය කළ හැකි යකඩ, විටමින් බී 12 වැනි පෝෂක පදාර්ථයන් ලබාදීමෙන් , විටමින් වර්ග ලබා දීමෙන් මේ තත්ත්වය මඟ හරවා ගත හැකියි.

බරවා රෝගය

ජනාකීර්ණ නාගරික ප්‍රදේශවල ජීවත් වන සුනඛයන් සහ බළලුන් අතර බරවා රෝගය සුලබව දැකිය හැකියි. Diro filaria නම් බරවා පණුවා, සතුන්ට වැඩිපුරම බරවා රෝගය වැළඳීමට හේතු වන රෝග කාරකයායි. මෙම බරවා රෝගය බළලුන්ට වඩා සුනඛයන්ට වැළඳීමේ හැකියාව වැඩියි. එසේම වයස අවුරුදු 3 -8 අතර සුනඛයන්ට වැඩිපුර හට ගැනීමේ හැකියාවක් තිබෙනවා. මෙහිදී බරවා රෝගය වැළඳුණු මිනිසුන්ගේ මෙන් සතුන්ගේ පාද අසාමාන්‍ය ආකාරයට මහත් වීම බොහෝ විට සිදු වන්නේ නෑ. නමුත් කලාතුරකින් සුනඛයන්ට එසේ නොවෙනවා කියලා කියන්නත් බෑ. Diro filaria බරවා පණුවා ආසාදනය වීමෙන් සතුන්ට වැළඳෙන බරවා රෝගය බොහෝ විට බලපාන්නේ පෙණහලුවලට සහ හෘදයට යි.

නිරෝගී සතෙකුට බරවා වැළඳෙන්නේ කොහොමද?

බරවා ආසාදිත සතෙකුගේ සිරුරෙන් රුධිරය උරා බොන මදුරුවාගේ ශරීරය තුළට ආසාදිත සතාගේ රුධිරයේ සැරිසරමින් සිටින බරවා කීටයා ඇතුළු වෙනවා. ඉන්පසුව මදුරුවා ගේ ශරීරය තුළදී බරවා කීටයා අවදි කිහිපයක් පසු කරමින් ජීවත් වෙනවා. කීට අවස්ථාවේ අවසාන අවදියේදී මදුරුවා දෂ්ට කිරීමෙන් නිරෝගී සතුන්ගේ ශරීරයටද බරවා කීටයන් ඇතුළු වෙනවා.
රෝග වාහක මදුරුවා නිසා ශරීරගත වූ බරවා කීටයා එම සතාගේ ශරීරය තුළදී වැඩෙමින් බරවා පණුවකු බවට පත් වෙනවා. එම අවස්ථාවේ දී ශරීරය පුරා සැරි සරන බරවා පණුවා පෙනහලු හෘදය වැනි අවයව කරා ගමන් කිරීම නිසා සතුන් කෙරෙන් රෝග ලක්ෂණ මතු වෙනවා.හුස්ම ගැනීමේ අපහසුව, කැස්ස වැනි රෝග ලක්ෂණ මෙහිදී බොහෝ විට දැකිය හැකියි. බරවා පණුවා හෘදය කරා පැමිණීමත් සමග රෝගී සතුන්ට වෙහෙසීමට අපහසු වන අතර වැඩිපුර වෙහෙසීමෙන් සිහි මූර්ඡා වන තත්ත්වයකට පවා පත්විය හැකියි. බරවා පණුවන් නිසා හෘදයට වන බලපෑම වඩා වැඩිවන විටදී වෙහෙසීමකින් තොරව පවා නිතර නිතර සිහි මුර්ජා වන්නට පුළුවන්.
රුධිර පරීක්ෂණයක් මගින් රෝග තත්ත්වය හඳුනා ගැනීමෙන් පසුව සිරුර තුළ සිටින බරවා කීටයා විනාශ කිරීමට ඖෂධ ලබා දීම සිදුකළ යුතුයි. ඖෂධ ලෙස බොහෝ විට දෙනු ලබන පෙති කාලයක් නොකඩවා ලබා දීම අවශ්‍යයි.

ඖෂධ ලබා දීමත් සමග බරවා කීටයන් සතුන්ගේ සිරුර තුළදීම මිය යනවා. මියගිය කීටයන් සිරුරෙන් බැහැර වීමක් සිදු නොවන අතර කාලයක් ගත වීමේදී ඒවා සිරුරටම දරා ගැනීමට සිදුවෙනවා. සතුන්ගේ සිරුර තුළ බරවා කීටයන් විශාල ප්‍රමාණයක් ජීවත් වී සිට මිය ගිය විටදී එම මියගිය කීටයන් වසා නාල, රුධිර නාල වැනි ස්ථානවල සිර වී එම නාල අවහිර වීම සිදු විය හැකියි. එම නිසා ඖෂධ ලබා දෙන කාල සීමාව තුළදී සතා වෙහෙසෙන්නේ නැති ආකාරයට රඳවා තබා ගැනීමට හිමිකරුවන් කල්පනාකාරී විය යුතුයි. එලෙස සතුන් වෙහෙසෙන විටදී රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩිවීමත් සමග මියගිය කීට කොටස් සිරුරේ යම් යම් ස්ථාන කරා ගමන් කර සිරවීම සිදු විය හැකියි. එවැනි අවස්ථාවක පෙනහලු, වකුගඩු, හෘදය වැනි අවයවයන්හි ක්‍රියාකාරිත්වය අඩපණ වීම සිදු විය හැකි අතර එමගින් සතා මරණයට පත් වීමට පවා ඉඩ තිබෙනවා.

සතෙකුගේ ශරීරය තුළ බරවා කීටයන් වර්ධනය වීමත් සමග ආහාර අරුචිය නිසා ආහාර ප්‍රතික්ෂේප කිරීම බොහෝ විට සිදු වෙනවා. සමහර අවස්ථාවලදී දිගින් දිගටම ආහාර නොගැනීම නිසාද සතා මිය යාමට පුළුවන්.
ඖෂධ ලබා දෙන අතරතුර වරින් වර සායන කරා රැගෙන ගොස් රුධිර පරීක්ෂණයන්ට භාජනය කිරීම වැදගත්. ඒ අනුව රුධිරයේ අඩංගු බරවා කීට ගහණය පිළිබඳ නිශ්චය කරමින් ඖෂධ ලබා දීම සිදු කෙරෙනවා.
බරවා රෝගයෙන් සතුන් ආරක්ෂා කර ගැනීමට කළ හැකි සාර්ථකම පිළියම වන්නේ මදුරු වර්ධනය, මර්දනය කිරීම පමණයි.

පශු වෛද්‍ය ඉසුරු අංජුල පෙරේරා

ඉන්දු පෙරේරා.

සතුන්ටත් හිමි අපේ ලෝකය